Home » කැසිනෝ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවක්

කැසිනෝ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවක්

by chanaka
February 14, 2024 3:49 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට අදාළව ඊයේ (13) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාරම්භක රැස්වීමේදී නිවේදනය කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කළ පරිදි කැසිනෝ සදහා නියාමන ආයතනයක් පිහිටුවීමේ සැලකිය යුතු ප්‍රමාදය පිළිබඳව විමසීම සදහා මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරක සභාවට කැඳවන ලදී.

2023 දෙසැම්බර් 31 වන විට මෙම නියාමන ආයතනයක් පිහිටුවීම සදහා පියවර ගන්නා බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට එකඟත්වය පළ කර තිබුන ද තවදුරටත් සිදු වන ප්‍රමාදය පිළිබඳ විමර්ශනය කරන ලදී. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම අහිමි වූ බිලියන ගණනක ආදායම නැවත ලබා ගැනීමට මෙම නියාමන ආයතනයක වැදගත්කම අවධාරණය කරමින් කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්නේ මේ සදහා කඩිනමින් පියවර ගත යුතු බවයි. රෙගුලාසි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයට සැලකිය යුතු අලාභයක් සිදුවන බව ඔවුහු අවධාරණය කළහ. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ සිංගප්පූරුවට සමාන ශක්තිමත් ආදායම් ආකෘතියක් ගොඩනැගීම සඳහා අමතර විශේෂඥතාවක් අවශ්‍ය බවයි.

බදු මුදල් ඇතුළුව භෞතිකව හා මාර්ගගතව පවත්වාගෙන යන කැසිනෝ පිළිබඳ විස්තර සපයන ලෙස කමිටුව අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර හිඟ බදු අයකර ගැනීමට යෝජිත සැලැස්මක් ද සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. මේ අනුව 2024 මාර්තු 31 වනදා වන විට මීට අදාළ නීති සම්පාදනය අවසන් කරන ලෙස ද කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.

පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත සදහා ද කාරක සභාවේ අනුමතිය මෙහිදී හිමිවිය. මෙම පනත මගින් චංචල දේපල සම්බන්ධ ගනුදෙනු සුරක්ෂිත කිරීම, ණය හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පැහැදිලි නීති රීති ස්ථාපිත කිරීම සිදුවේ. මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වර්ධනය සඳහා වඩා හොඳ ණය ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගනිමින්, ලියාපදිංචිය සහ අයිතීන් අධීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂිත ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරියක් පිහිටුවීම සිදුවේ. ව්‍යාපාර සංවර්ධනයට ණය ලබා ගැනීම සඳහා ඇපකරයක් ලෙස ගෘහ උපකරණ හෝ ව්‍යාපාරික උපකරණ වැනි චංචල වත්කම් භාවිතා කිරීමට මෙම ව්‍යවස්ථාව මඟින් පුද්ගලයන්ට හැකියාව ලැබේ. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වැඩි ණය ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරන අතරම, ලියාපදිංචි අධිකාරිය හරහා ගනුදෙනුවල අඛණ්ඩතාව සහතික කරමින්, වංචනික ක්‍රියාකාරකම් වළක්වා ගැනීම සිදුවේ.

2008 අංක 14 දරන උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ 3 වැනි වගන්තියේ (4) උපවගන්තිය යටතේ නියෝගය සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි සදහා ද කාරක සභාවේ අනුමතිය මෙහිදී හිමිවිය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) සුරේන් රාඝවන්, වෛද්‍ය සීතා අරඹේපොල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, දුමින්ද දිසානායක, හර්ෂණ රාජකරුණා, මධුර විතානගේ, සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් විතාන සහ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT