Home » IMF අධ්‍යක්ෂ මණ්ඩල සහාය ශ්‍රී ලංකාවට තවදුරටත්

IMF අධ්‍යක්ෂ මණ්ඩල සහාය ශ්‍රී ලංකාවට තවදුරටත්

by chanaka
March 21, 2024 4:32 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා(19) කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ආචාර්ය සුබ්‍රමනියම් එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ අතර 2024 ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා දීම පිළිබඳ ව තීරණය කරනු ඇතැයි ප්‍රකාශ කළේ ය.

රජය දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර සමාජයේ දුර්වල කොටස් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් වන ලසාඩ් ෆ්රෙරස් (Lazard Frères SAS) සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Clifford Chance LLP) සමාගම්වල නියෝජිත පිරිසක් පැරිස් ක්ලබ් සාමාජිකයින් සහ අනෙකුත් ණය හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

නියෝජිත පිරිසට ලසාඩ් ෆ්රෙරස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජෙරොම් ඇලෙක්සිස් (Jerome Alexis), සහකාර අධ්‍යක්ෂ වැලෙරේ පියරාඩ් (Valère Pierard), විශ්ලේෂක ෆ්රැන්සෙස්කා රෙෆෝ (Francesca Reffo) සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ හවුල්කාර ඩෙබොරා ස්න්ඩ්ස්ට්රා (Deborah Zandstra), ජ්‍යෙෂ්ඨ සහ සහකාර ජේම්ස් කෙල්ටන් (James Kelton) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යොහාන් සමරතුංග යන මහත්වරු ද ඇතුළත් වූ හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT