Thursday, May 16, 2024
Home » ශ්‍රීපාද උඩමළුවෙන් පැන්න තරුණයාගේ ජංගම දුරකතන වාර්තා කැඳවයි
ලේ පැල්ලමක්වත් නොමැති නිසා වසං වී සිටී දැයි සැකයක්

ශ්‍රීපාද උඩමළුවෙන් පැන්න තරුණයාගේ ජංගම දුරකතන වාර්තා කැඳවයි

by sachintha
April 23, 2024 12:55 am 0 comment

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ රත්නපුර මාර්ගයෙන් උඩ මළුවේ සිට බිමට පැන්න පුද්ගලයාගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට සිරිපාගම පොලිසිය රත්නපුර මහාධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබේ.

මෙම තරුණයා කන්දෙන් පහළට පැන ඇත්තේ සිය ජංගම දුරකතනයද අතැතිවය. තරුණයාව සොයා යුද හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මෙහෙයුම් දියත්කරන විට තාක්ෂණික පහසුකම් ඔස්සේ ඔහුගේ දුරකතනය ඒ වන විට ඇති ස්ථානය හඳුනාගෙන තිබේ. මෙහෙයුම දියත්වී ඇත්තේ එම ස්ථානය ඔස්සේය. එතැනට හමුදා සාමාජිකයන් ගමන් කළද දුරකතනයක් හෝ තරුණයා එම ස්ථානයට වැටුණු සලකුණක්වත් තිබී නැත. ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කළද අඩුම තරමින් ලේ පැල්ලමක්වත් නොවූ බැවින් ඇති වූ සැකයක් මත දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට අවධානය යොමු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. සෝදිසි මෙහෙයුමේ නිරත හමුදා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් අදාළ ස්ථානය වෙත යන විට එම දුරකතනයේ සම්බන්ධතාව තිබී ඇත්තේ විසන්ධිවය. ශ්‍රී පාද උඩමළුවේ ඇති ආරක්ෂක කැමරාවල ද මෙම තරුණයා කන්ද මුදුනේ සිට අත්වැටෙන් පැන කන්දෙන් පහළට පනින ආකාරයක් දක්නට ඇතැයි ද පොලිසිය කියයි. ඒ අනුව මෙම තරුණයා කන්දෙන් පැනීමත් ඔහුගේ දුරකතනය ඇතැයි පෙන්වූ ස්ථානයේ දුරකතනය අතුරුදන්වී තිබීමත් සම්බන්ධයෙන් ඇත්තේ ගැටලු සහගත තත්ත්වයක් බව ද පොලිසිය කියයි. මෙම තරුණයා කන්දෙන් පහළට පැනීමේ දී ජීවිතයට අනතුරක් නොවීම හේතුවෙන් ඔහු වසන්වී සිටීදැයි සැකයක් ද පොලිසියට මතුවී ඇත.

මෙම තරුණයාව සොයා පොලිසිය සිදුකරන මෙහෙයුම් මෙතෙක් නතරකර නොමැති බවත් ඔහුව සොයා ගන්නා තුරු හෝ ඔහු ගැන යම් නිශ්චිත තොරතුරක් ලැබෙන තුරු විමර්ශන පැවැත්වෙන බවත් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 33ක් වන මෙම තරුණයා දිනේෂ් හේමන්ත නමැති සූරියවැව පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා දෙදරු පියෙක් බවත් ගොවියෙක් බවත් පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

සිය බිරිඳගෙන් වෙන්ව ජීවත්වන බව සඳහන් මෙම තරුණයා ඉකුත් 18 වෙනිදා සූරියවැව පිරිසක් සමඟ එක්ව සිරිපාද වන්දනාවේ පැමිණ ඇති බව සිරිපාගම පොලිසිය කියයි. ඒ අය අතර මෙම තරුණයා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යැයි කියනු ලබන කාන්තාවක් ද සිට ඇති බව කියයි.

මෙම පුද්ගලයා ඇතුළු පිරිස ශ්‍රී පාද වන්දනාව සඳහා ගමන්කර ඇත්තේ නල්ලතන්නිය මාර්ගය ඔස්සේය. 18 වෙනිදා රාත්‍රී කාලයේ ගමන් ආරම්භකර ඇති ඔහු උඩමළුවට 19 වෙනිදා වන විට පැමිණ වන්දනාමාන කර කන්දෙන් පහළට පැන ඇති බව පොලිසිය කියයි.

මෙම තරුණයා මෙවර ශ්‍රී පාද වාරය ආරම්භ වීමෙන් අනතුරුව තුන් හතර වරක්ම ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති බවත් එයත් මේ වන විට සැකයට තුඩු දී ඇති බවත් පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT