Home » මේ වසරේ දී ප්‍රධාන බෝග 04ක් වගා කිරීමට ප්‍රමුඛත්වය

මේ වසරේ දී ප්‍රධාන බෝග 04ක් වගා කිරීමට ප්‍රමුඛත්වය

by chanaka
March 24, 2024 7:35 am 0 comment

මේ වසරේ දී ප්‍රධාන බෝග වර්ග හතරක් වගා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් විශේෂයෙන් වී වල‌ට අමතරව මිරිස්, බඩඉරිඟු, රතුලූනු හෝ ලොකු ලූනු මෙන්ම අර්තාපල් වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එහි දී විශේෂයෙන් මිරිස් වගාව ව්‍යාප්ත කිරීමටත්, වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමටත් පියවර ගැනේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.

මෙම ප්‍රදේශයේ ගොවීන් 300ක් විසින් මිරිස් අක්කර 150ක වගා කරන අතර එම වියළි මිරිස් දේශීය වෙළෙඳපලට සරිලන අයුරින් සැකසුම් කිරීම හා ඇසුරුම් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.

මෙම වියළි මිරිස් සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දැනට අප රටේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500කි. නමුත් 2022 වසර වන තෙක් මෙරට වාර්ෂික වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් විය. ඉතිරි මෙට්‍රික් ටොන් 48,500ම ආනයනය කරනු ලැබිනි.

වසර ගණනාවකට පසුව 2023 වර්ෂයේ මෙරට සමස්ත වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළ ගියේය.

රටට අවශ්‍ය ඉතිරි මිරිස් සියලු ප්‍රමාණයම ආනයනය කරනු ලබන අතර ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වී තිබේ.

කෙසේ වුවද මේ වනවිට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ හදුන්වා දී ඇති ද්විත්ව පේළි ක්‍රමය, නව තාක්ෂණික ක්‍රම හා විධි නිසා මෙරට නැවත වරක් මිරිස් වගාව මෙරට ගොවීන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙක හේතුවෙන් හෙක්ටයාර් එකකට ලබා ගත හැකි මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.

මෙම වසරේ දී අපි ප්‍රධාන බෝග වර්ග හතරක් වගා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා. විශේෂයෙන් වී වල‌ට අමතරව මිරිස්, බඩඉරිඟු, රතුලූනු හෝ ලොකු ලූනු මෙන්ම අර්තාපල් වගාව ව්‍යාප්ත කිරීමට අපි පියවර ගන්නවා.

එහි දී විශේෂයෙන් මිරිස් වගාව ව්‍යාප්ත කිරීමටත්, වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමටත් අපි පියවර ගන්නවා. එම කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. අද වව්නියාවේ විවෘත කෙරෙන මෙම වියළි මිරිස් සැකසීමේ හා ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානය එම වැඩ පිළිවෙලෙහි එක් පියවරක්. අපි වියළි මිරිස් ආනයනය කළත්, ආනයනික වියළි මිරිස්වල විශාල වශයෙන් කෘමිනාශක හා වල් නාශකවල අඩංගු රසායනික දුව්‍ය අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය දේවල් අපේ රටේම නිපදවා ගැනීම අපේ ඉළක්කයයි.

මේ සඳහා ගොවි ජනතාවගේ සහයෝගයත් අපිට අවශ්‍ය වෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT