Home » තල් හා කිතුල් රා කර්මාන්තයේ නීතිවලට වෙන්න යන දේ

තල් හා කිතුල් රා කර්මාන්තයේ නීතිවලට වෙන්න යන දේ

by chanaka
March 22, 2024 2:36 pm 0 comment

මෙරට තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළෙහි ඉහළ ඉල්ලූමක් පවතින හෙයින් එම කර්මාන්තයේ වර්ධනයට හේතුවන ලෙස දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය.

මෙරට තල් හා කිතුල් රා කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. නමුත් දැනට එම කර්මාන්තය සඳහා බලපත් ලබා ගැනීමේ දී පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන සැපයුම කෙරෙහි බලපෑමක් එල්ල වී තිබේ.

මෙම තත්ත්වය වෙනස් කර තල් හා කිතුල් රා කර්මාන්තය සඳහා බලපත් ලබා දීමේ දී දැනට පවතින නීතිමය තත්ත්වයන් ලිහිල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද(22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩල හා අධිකාරින් හි සභාපති වරු ඇතුළු නිලධාරින් ද සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.

මෙහිදී කරුණු පැහැදිළි කළ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තල් හා කිතුල් රා කර්මාන්තය ආශ්‍රිතව පවතින නිෂ්පාදන රැසක් දැනට ජාත්‍යන්තර වෙළෙඳපලට අපනයනය කරන බව කීය. නමුත් විශාල ඉල්ලුමක් පැවතියත් එම ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබෙන්නේ දැනට පවතින තදබල නීතිමය තත්ත්වයන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමනිසා තල් හා කිතුල් ගස් මැඳීම සඳහා බලපත් ලබා දීමේ දී කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, බලපත් ලබා ගන්නා යම් පුද්ගලයෙක් ලබා දී තිබෙන නිදහස අනිසි ලෙස භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ආකාරය සම්බන්ධවත් කරුණු ඇතුළත් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කරන ලෙස සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දැනට මෙරට පොල් රා වලින් සකස් කර ගන්නා ස්වාභාවික විනාකිරි බෝතලයක් විදේශ රටවල රුපියල් 15,000ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බව ද සභාපතිවරු පෙන්වා දුන්නේය.

එමෙන්ම තල් රා, තල් අරක්කු මෙන්ම කිතුල් තෙලිදිය සඳහා ද ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමමක් පවතී. කිතුල් පැණි හා කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට පවා සුදුසු අමතර ආහාරයක් ලෙස විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් ජාත්‍යන්තර වෙළෙදපළේ ඒ සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී.

එමනිසා මෙම කර්මාන්තය නඟාසිටුවීමට සහයෝගය දක්වන ලෙස ද අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව ඉදිරියේ දී දැනට තල් හා කිතුල් රා කර්මාන්තය මෙන්ම පොල් රා සම්බන්ධව ද බලපත් ලබා දීමේ දී ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව ද සුරාබදු නිලධාරිහු පැවසූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT