Home » රුසියානු-යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික හමුදා භටයා මරුට

රුසියානු-යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික හමුදා භටයා මරුට

ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් වෙලා

by mahesh
March 29, 2024 1:00 am 0 comment

රුසියානු – යුක්රේන යුද්ධය සඳහා එක්ව සිටි තවත් ශ්‍රී ලාංකික හමුදා සෙබළකු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිපුණ සිල්වා ලෙස හඳුන්වන 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මෙලෙස මියගොස් තිබෙන අතර, රුසියානු බංකරයක් වෙත එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඔහු සමඟ සමීපයේ සේනක බණ්ඩාර නමැති ශ්‍රී ලාංකිකයකු සිට ඇති අතර, අදාළ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ නිපුන සිල්වා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමට උත්සාහ කර තිබෙන බව ද ඒ අවස්ථාවේ ඔහු බරපතළ ලෙස තුවාල ලබා සිටි බව ද එම වාර්තා සඳහන් කරයි.

“මම නිපුන රැගෙන යද්දී අවසාන බංකරය අසල තවත් දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේ නිපුන බිම ඇදවැටුණා. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර වර්ෂාවක් වගේ ඇදහැලෙන විට නිපුන හැර යෑම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.” යනුවෙන් සේනක බණ්ඩාර අල් ජසීරා වෙත WhatsApp ඔස්සේ යවන ලද හඬ පටයකින් පවසා තිබේ.

පවතින ආර්ථික ගැටලු මත ශ්‍රී ලංකාවේ වාසය කරන තම පවුල ජීවත් කරවීම සඳහා මෙම ශ්‍රී ලාංකිකයා රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්ව ඇති බව මේ වන විට හෙළි වී තිබෙන අතර, හමුදා වැටුප සිය පවුල ජීවත් කරවීම සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහු හමුදාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරත වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු රුසියානු හමුදාව සමඟ එක්වීමට පෙර වෙනත් රැකියාවක් සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබූ අතර, එහිදී නියමිත පරිදි රැකියාවක් සහ වැටුප් නොලැබීම හේතුවෙන් රැකියා ඒජන්සියක් මඟින් රුසියාව බලා පැමිණ තිබුණේ ගොවිපොළක රැකියාවක් සඳහාය. එහෙත් නියමිත පරිදි ආහාර වේලක් හෝ නැතිව දිනකට පැය 14ක් පමණ දුෂ්කර ලෙස සේවය කිරීමට සිදු වීම හේතුවෙන් ඔහු එම ගොවිපොළෙන් ඉවත් වී ඊට වඩා අඩු වැටුපක් ලැබෙන හෝටල් ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවකට යොමු වී තිබේ.

එමඟින් ලැබෙන වැටුප තමන් ශ්‍රී ලංකාවේදී ගෙන ඇති ණය ගෙවීමට සහ පවුල ජීවත් කරවීමට ප්‍රමාණවත් නොවීම නිසා ඔහු සිය බිරියට දැනුම් දී ඇත්තේ රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්වීමට තීරණය කළ බවයි. බිරිය ඊට දැඩි ලෙස විරුද්ධ වුවද නිපුන සිල්වා මේ වසරේ ජනවාරි මාසයේදී රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්වීමට ගිවිසුම් අත්සන් කර ඇත. රුසියානු හමුදාව සමඟ එක්වීමෙන් පසු ඔහු පුහුණු වැඩසටහන් දෙකකට සහභාගි කරවා ඇති අතර, ඉන් අනතුරුව යුද පෙරමුණට යොමු කර ඇත.

නිපුන සිල්වා රුසියානු පාර්ශ්වයෙන් යුද්ධය සඳහා එක්ව මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා වන අතර, ඊට අමතරව යුක්රේනය වෙනුවෙන් යුද වැදුණු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ද මේ වන විට ගැටුම්වලදී මියගොස් තිබේ. කපිතාන් රනේෂ් හේවගේ යුක්රේනය වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මාසයේදී මියගිය අවසන් ශ්‍රී ලාංකිකයා වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT