Home » තහනම් කළ පාම් ඔයිල් පන්නා අලෙවි කළැයි රේගු පරීක්ෂක දැලේ

තහනම් කළ පාම් ඔයිල් පන්නා අලෙවි කළැයි රේගු පරීක්ෂක දැලේ

by mahesh
March 29, 2024 1:00 am 0 comment

රේගුව විසින් තහනම් කර තිබුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කන්ටේනර් පහක් වරායෙන් පන්නා විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් රේගු පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රේගු පරීක්ෂකවරයා නාවල රාජගිරියේ පදිංචිකරුවෙකි. අවුරුදු 33ක් වන මෙම රේගු පරීක්ෂකවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 වැනිදා රාත්‍රී කාලයේදීය.

මලයාසියානු සමාගමක් හරහා ගෙන්වා තිබුණු එම පාම් ඔයිල් රේගුවෙන් නිදහස් නොකර තහනම් කර තිබියදී රේගුවෙන් නිදහස් කළ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පන්නා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

රේගු අධිකාරීවරුන් දෙදෙනකු, සහකාර රේගු අධිකාරීවරයකු ඇතුළු පිරිසක් මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විටෙන් විට අත්අඩංගුවට ගත්තේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කිහිපදෙනෙක් තාමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. මෙම සිදුවීමට අදාළව චෝදනා ලැබ සිටින ඇතැම් රේගු නිලධාරින් අපේක්ෂිත ඇප ද ලබාගෙන තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT