Saturday, April 27, 2024
Home » ඩී.එස්.-මහානාම ‘රන් මහා සටන’ අද සහ හෙට

ඩී.එස්.-මහානාම ‘රන් මහා සටන’ අද සහ හෙට

by mahesh
March 29, 2024 1:00 am 0 comment

කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම විදුහල් අතර ‘රන් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය 18 වැනි වරටත් අද (29) සහ හෙට (30) එස්එස්සී පිටියේදී පැවැත්වෙයි.

මේ මහා තරගයේ දී ඩී.එස්. විද්‍යාලයේ නායකයා ලෙස ගවිදු සෙනහස් කටයුතු කරන අතර, මහානාම විද්‍යාලයීය ක්‍රිකට් නායකයා ලෙස නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ දුවිඳු රණතුංග කටයුතු කරයි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිදක්ෂ ක්‍රීඩකයකු වූ ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජික අරවින්ද ද සිල්වා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ අතර, කෝසල කුරුප්පුආරච්චි, හෂාන් තිලකරත්න, පුබුදු දසනායක, වරුණ වරාගොඩ, බතීෂ සිල්වා, මුදිත මධුවන්ත, අර්ෂාඩ් ජුනයිඩ්, සම්පත් පෙරේරා, පුලස්ති ගුණරත්න හා නවීඩ් නවාස් එම විදුහලෙන් බිහි වූහ. ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ධනුෂ්ක ගුණතිලක මහනාම විදුහලෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.

පාසල් ක්‍රිකට් පිටියේ වර්තමානයේ දස්කම් අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඩී.එස්. සේනානායක පිල නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අංජල බණ්ඩාර සහ දුවිඳු රණතුංග මහානාම කණ්ඩායම සතුව සිටිති.

ඩී.එස්. විදුහල මෙවර තරග වාරයේදී තරග 11කට ක්‍රීඩා කොට මහනුවර සාන්ත අන්තෝනි, මාතර සර්වේෂස්, වෙස්ලි හා මලියදේව විදුහල් හමුවේ පූර්ණ ජයග්‍රහණ හා තවත් තරග 4ක් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළේය. ඔවුන් සාන්ත සෙබස්තියන් හමුවේ පරාජයට පත්විය. ඩී.එස්. සේනානායක පිලේ මුදිත පෙරේරා හා ගවිදු සෙනහස් ලකුණු 600ට වැඩියෙන් වාර්තා කොට ඇති අතර, චෙනුල් බිම්සර ලකුණු 500 පසු කළේය. එමෙන්ම රන්දිප බණ්ඩාරණායක හා චෙනුල රන්දුල කඩුලු 40 පසුකරමින් දස්කම් දක්වා ඇත.

මහානාම කණ්ඩායම තරග 8කට සහභාගිවී සාන්ත බෙනඩික්ට්, සාන්ත අන්තෝනි, මාරිස්ටෙලා හා මාතර සාන්ත තෝමස් හමුවේ පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය. අනෙක් තරග 4 පළමු ඉනිමේ ජයග්‍රහණ විය. දුල්නෙත් සිගේරා ලකුණු 300ක් හා ගිමන්ත දිසානායක ලකුණු 280ක් රැස් කර ඇත. මේ තරගවාරයේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 46ක් බිඳ හෙළා ඇත.

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා හා මහානාම විදුහල්පති ඒ.සී. පෙරේරා මහතා මේ ‘රන් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය සාර්ථක කර ගැනීමට කැපවී සිටිති.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT