Sunday, May 5, 2024
Home » සුදුසුකම් ලැබීමේ පළමු සටනින් ශ්‍රී ලංකා කාන්තාවන්ට ජය
විස්සයි20 ලෝක කුසලානයට

සුදුසුකම් ලැබීමේ පළමු සටනින් ශ්‍රී ලංකා කාන්තාවන්ට ජය

by sachintha
April 26, 2024 2:45 am 0 comment

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම දෙක තෝරා ගැනීම සඳහා අබුඩාබියේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් තායිලන්තය පරදවා ලකුණු 67ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් විය.

ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත ක්‍රීඩිකාවන්ට ඕවර 16.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 55ක් පමණි.

තායිලන්ත පිළිතුරු ඉනිමේදී නන්නපාට් කොන්චරොන්කායි පන්දු 27කින් ලකුණු 18ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිය වූ අතර, සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් දවා ගත්හ.

මේ තරගයේ පළමු පන්දුවට පහරදීමට පිටියට පිවිසි විශ්මි ගුණරත්නට සහ නායිකා චමරි අතපත්තුට ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට නොහැකි වූහ. මුළු ලකුණු 24දී විශ්මි ලකුණු 13කට දැවී ගිය අතර, පන්දු 23කින් ලකුණු 16ක් රැස් කර සිටි චමරි දුවද්දි දැවීයෑමට හසුවන විට මුළු ලකුණු සංඛ්‍යාව 45ක් විය. අංක 3 පිතිකාරිනි හසිනි පෙරේරා පන්දු 32කින් ලකුණු 29ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, මුළු ලකුණු 78දී ඇය 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියාය.

අනතුරුව පිටියේ එක් වූ නිලක්ෂි ද සිල්වා සහ අනුෂ්කා සංජීවනි පන්දු 34කින් ලකුණු 44ක සබඳතාවක් ගොඩනඟමින් ලකුණු පුවරුව 122 දක්වා ඉහළට රැගෙන ගියහ. නිලක්ෂි පන්දු 20කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 29ක් රැස් කළ අතර, අනුෂ්කා පන්දු 15කින් ලකුණු 13ක් රැස් කළාය. ඉනෝෂි ප්‍රියදර්ශනී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවැනි තරගය හෙට (27) ස්කොට්ලන්තයට එරෙහිව අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර ඊයේ පැවති තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එමීර් පිල පරදවා කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට අයර්ලන්තය සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල – 122/5 (ඕවර 20) නිලක්ෂි ද සිල්වා නොදැවී 29, හසිනි පෙරේරා 29, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 13, අනුෂ්කා සංජීවනි නොදැවී 13 (සුනීදා චතුරෝංගරත්තනා 15/1, චනිදා සූත්තිරුංග් 15/1, සුලිපෝර්න් ලාඕමි 19/1, ඔනිචා කම්චොම්පු 27/1)

තායිලන්ත කාන්තා පිල – 55 (ඕවර 16.2) නන්නපාට් කොන්චරොන්කායි 18 (ඉනෝෂි ප්‍රියදර්ශනී 14/3, උදේශිකා ප්‍රබෝධනී 10/2, චමරි අතපත්තු 4/1, අචිනි කෞෂල්‍යා 7/1, කවීෂා දිල්හාරි 8/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT