Sunday, May 5, 2024
Home » අමරවීරගෙන් රුපියල් මිලියන 1000ක් ඉල්ලා – මෛත්‍රී එන්තරවාසියක් යවයි

අමරවීරගෙන් රුපියල් මිලියන 1000ක් ඉල්ලා – මෛත්‍රී එන්තරවාසියක් යවයි

by sachintha
April 26, 2024 2:46 am 0 comment

තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඇමැති මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.

සිය නීතිඥයා මඟින් මෙම එන්තරවාසිය යොමු කරමින් ඔහු දැනුම්දී ඇත්තේ දින 14ක් ඇතුළත එම වන්දි මුදල නොගෙවන්නේ නම් එම මුදල සහ ඒ මත නෛතික පොලිය අය කර ගැනීමට නඩු පවරන බවයි.

සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් 2024 අප්‍රේල් 22 වැනි දින ඇමැතිවරයා පළ කළ අදහස් අසත්‍ය බව නීතිඥ ජයමුදිතා ජයසූරිය එම එන්තරවාසියේ සඳහන් කර තිබේ. 2024 අප්‍රේල් 22 වැනි දින රූපවාහිනී නාළිකාවකට සහ 2024 අප්‍රේල් 24 වැනි දින පුවත්පතකට අදාළ ප්‍රකාශ කිරීම මඟින් මහින්ද අමරවීර මහතා විසින් වසර 50කට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධුරය හොබවන ලද තමාගේ ගෞරවයට හානි කර ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

“නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ. ඒක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහාස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අප ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසුගිය දවස්වල එතුමා මුණගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච. ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා. අප ඒක විමසුවා පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුවුණු වෙලාවක මෙහෙම හමුවීමක් සිදු වුණාද කියලා. ඔහු එය පිළිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට ඇරගෙන කිව්වේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපට චෝදනා කළේ. දැන් එතුමා රෙදි ඇඳගෙන ද දන්නේ නෑ මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමැතිවරයෙක් නෙමෙයි ද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිර කළ එක්කෙනාට කොච්චර හම්බුණාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයකුගේ ළඟ අධිකරණ ඇමැතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක්, අපෙන්ම අහනවා.” යනුවෙන් ඇමැතිවරයා කළ ප්‍රකාශය එන්තරවාසියේ උපුටා දක්වා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තකු වශයෙන් ඉහත සඳහන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව දැන දැනම එම ප්‍රකාශය සිදු කර ඇති බව නීතිඥ ජයමුදිතා ජයසූරිය මඟින් එවා ඇති එන්තරවාසියේ දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT