Saturday, April 27, 2024
Home » මෙතෙර හාගෙන එතෙර පැන ගැනීම

මෙතෙර හාගෙන එතෙර පැන ගැනීම

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ලක් අම්මාට අසාධ්‍යයි කියා ගාලු මුවදොර වටේ කළු කොඩි ලෙළවා රැඟු පිරිස්, දැන් ගෙවල් දොරවල් හිද නැත්තේය. රට යවනවා කියමින් ජනතාවගෙන් මුදල් ගැරීම අයත් වන්නේ හියුමන් ස්මගලින් ගණයටය. මෙහි සංකල්ප දෙකක් ඇත්තේය. එකක් හියුමන් ට්‍රැෆිකින්ය. අනික පොදුවේ මිනිසා ජාවාරමට ලක් කිරීමය. මූලික කතාබහ අනුව ගතහොත් මිනිස් ජාවාරම යනු ‘සූරාකෑමේ අරමුණින් පුද්ගලයන් බලහත්කාරයෙන්, පැහැරගෙනයාම හෝ වංචනික ලෙස බඳවා ගැනීම, ප්‍රවාහනය, මාරු කිරීම, නවාතැන් ගැනීම හෝ පිළිගැනීමයි. මෙයට සාමාන්‍යයෙන් අයත් වන්නේ බලය අනිසි ලෙස භාවිත කිරීම හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ කැමැත්තෙන් තොරව වාසි ලබා ගැනීමය’.

වහල් භාවය මිනිසා අහෝසි කර ගන්නා ලද්දේ වුවද ඒ සඳහා නව ක්‍රමවිධි භාවිතාව නතර වූයේ නැත. හැම අහෝසි වන සංකල්පයක් සඳහාම නූතන භාවිතයක් ඇත්තේය. යටත්විජිත ක්‍රමවේදය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගරා වැටුණේය. ඒ නටබුන් මත්තේ නව නිවහනක් ඉදිවිය. එයට භාවිත වූයේ නව යටත් විජිතවාදය යන සංකල්පයයි. ඒ කාලයේ මෙන් ආණ්ඩුකාරවරු දමා රටවල් පාලනය කරන ආකෘතිය වෙනුවට සමාගම් සහ දේශපාලන බලප්‍රවාහයන් ඉදිරියට ගෙන රටවල් සිය න්‍යාය පත්‍රයට හැසිරවීම නව යටත් විජිතවාදයේ ක්‍රමවේදය විය. වහල්භාවය යනු තමන් අල්ලා ගත් වැයික්කියක සිටින පුද්ගලයන් යදම් දමා රැගෙන විත් වෙන්දේසියේ දමා විකිණීමය. මුදල් දී පුද්ගලයා මිලට ගත් පසු කඩෙන් බඩුවක් ගත්තා වැනිය. ඉන් පසු තමන්ට රිසි සේ ඒ ප්‍රාණය හැසිරවීමේ බලය ‘බඩුව ලබා ගත්’ පුද්ගලයාට ලැබේ. ඒ වහල් ක්‍රමය අවසන් වුවද ශ්‍රමය සූරාකමින් තවමත් ලොව හැම දිශාවේම වහල්භාවය රැඳී ඇත්තේය. ඊට දෙන නම ‘මිනිස් ජාවාරමය’. මිනිස් ජාවාරමේ එක් ස්වරූපයක් වන්නේ, විදේශගත කිරීමය.

මෙය සිංහලෙන් ‘සංක්‍රමණික ජාවාරම’ කියා හැඳින්විය හැක්කේය. මූල්‍ය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභ සඳහා පුද්ගලයෙකු, ජාතික හෝ ස්ථිර පදිංචිකරුවෙකු නොවන ප්‍රාන්තයකට නීතිවිරෝධී ලෙස ඇතුළුවීම, සුරක්ෂිත කිරීම හෝ ආධාර කිරීම’ යන අර්ථකථනය එයට දිය හැක්කේය. දමිතා සහ සැමියා සඳහා ඇති චෝදනාව වන්නේ කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමය.

ඒ ගැන නඩුවක් ඇසෙමින් පවතින්නේ හෙයින් මේ තීරුව ඒ ගැන කතා නොකරන්නේය. එසේ වුවත් දිගින් දිගටම සංක්‍රමණික මිනිස් ජාවාරම සිද්ධ වන්නේ හෙයින් ඒ ගැන අප සංවේදීය.

බන්ධනාගාරගතව සිටින හෝල් සේල් කුඩු මුදලාලි කෙනෙක්ගේ ‘බඩු ටික’ එළියේ විකුණන “අයියා” නම් අයෙක් පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

මේ ‘අයියා’ වසර දහයක් ඇතුළේ හිඳ එළියට ආ අයෙකි. ඔහු හිරේ ලැග ඇත්තේ විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වීමෙන්ය. ‘අයියා’ නිදහස් වුවද රට යෑම සඳහා සල්ලි දුන් මිනිස්සු ඒ ගාන ගෙවන ලද්දේ ඉඩකඩම් උකස් කරමිනි. මේ හේතුවෙන් ඒ මිනිස්සු නම් තවම එළිමහන් සිර කඳවුරේ ‘දුක් විඳිනවා ඇත. ඔය ආකාරයේ කේස් ගණනක් දිනපතාම වාගේ ඇසෙන්නේය. මේ ළඟදී යුවළක් රට යෑම සඳහා නැග්ගේ නැවකට හෝ ගුවන් යානයකට නොව කන්ටේනර් පෙට්ටියකටය. පළමුව මැලේසියාවෙන් නැව නැංගුරම් ලෑ කල්හි යුවළ මැලේසියාවට පැන ගැනීමට මාන බලන ලද්දෝය. ඒ සඳහා අවසරය නොලද විට යළි පෙට්ටියට ගාල්වී, නැව යන රටවල් හයකදීම පැන ගැනීමට බැලුවෝය.

නෞකාවේ ගමනාන්තය වූයේ චීනයය. එරට ආරක්ෂක බලධාරීහු ඩබල අල්ලාගෙන, මෙරටට පිටුවහල් කළහ. ඔය ආකාරයට රට යෑමේ මේනියාවෙන් සමාජයේ බහුතරයක් පෙළෙන විට ඒ සඳහා ඉල්ලුමක් ඇති බව ජාවාරම්කාරයා දැන ගන්නේය. ‘ආශාව’ සඳහා යම් ආකෘතියක් ජවාරමා පළමුව ඉදිකර ගන්නේය. සුපිරි ගොඩනැඟිල්ලක ඉහළ මාලයක හයිෆයි ඔෆිස් එකක් ඕපන් කරගත් වන, මේ රටේ මිනිස්සු හිතන්නේ ඒවා වැදගත් තැන් බවය. සමාගමේ නමට ඉන්ටර්නැෂනල් ආදී කෑල්ලක් දා ගත් විට එළියේ සිටින අනුවණයා වෙත දැනෙන්නේ එය ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වූ ආයතනයක් බවය. එතැනින් ලණුව ගිල්වූ විට වැඩේ දිගට ඇදී යන්නේය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයතනයක් පවත්වාගෙන යමින්, කැනඩා වීසා පෙන්වා කෝටි 60ක පමණ පොලු තැබූ ඩබලක් දැන් කූරු ගනිමින් පසුවන්නෝය. මේ දෙදෙනා ගැන කොටුව පොලිසියට පැමිණිලි දහයක් පමණ ද, රත්නපුරේ පළාතෙන් පැමිණිලි පන්සියයක් පමණ ද ලැබී තිබුණි. කඩවත ප්‍රදේශයේ සණස සමිතියක් අටවාගෙන මේ දෙදෙනා හොර ඩොකියුමන්ට් සාදන ලද ආකාරය ද පෙරේදා හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව වී තිබුණි. ඊයේ දිනමිණ වාර්තා කළේ පෝලන්තයට රැකියා වීසා දෙන බවට පවසා රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක් වංචා කළ බව කියන කාන්තාවක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.

පෝලන්තයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් නොකරන බව දැන දැන, මේ ‘ලොන්ත පෝල්ලා’ එහෙ රස්සා සඳහා මේ කත වෙත මුදල් බැන්දේය. සහරාවේ වුවද ගොවිතැන් බත් කිරීම සඳහා ඉඩම් දෙනවා කියනවා නම්, ඒ වැඩේට ද මේ රටේ පෝලිම් හැදෙනවා ඇත. එහෙ දෙන්නේ ‘ජය භූමි ඔප්පු’ යැයි කීව ද මේ හරක් ඇන්දෙන්නේය. එහෙම රටක ජාවාරමා පමණක් ඇතුළට යවා මදිය. අහුවෙන එකාලා වෙත ද දඬුවමක් නියම කළ යුත්තේය. සංක්‍රමණික මිනිස් වෙළෙඳාම සඳහා ඇති සරල විසඳුම මෙයය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT