Home » දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැප වෙමු

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැප වෙමු

බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය අමතමින් අගමැති දිනේෂ් චීනයේදී පවසයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ආදායම සාධාරණ ලෙස බෙදී යන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැප වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය ඊයේ (28) චීනයේ හයිනාන් නුවරදී අමතමිනි.

චීන ජනාධිපති ෂි ජින්පින්ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව අගමැතිවරයා මෙහිදී පැසසුමට ලක් කළේය. දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන සෙසු රටවල් සඳහාද ඒ සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බවද අගමැතිවරයා පැවසීය. කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුලපිරීම් අවශ්‍ය බව පැවසූ අගමැතිවරයා එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නොව සමාජ සහජීවනය සහ සාමයද සහතික කරන බව කීවේය. පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. චීනයේ සහයෝගය ඇතිව කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳ පැහැදිලි කළ අගමැතිවරයා, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයේ රටවලද වේගවත් ප්‍රගතියක් සහතික කරන ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් විය හැකි බව පෙන්වා දුන්නේය.

අගමැතිවරයා එහිදී මෙසේද පැවසීය:

“අද බොආඕ සමුළුව නියෝජනය කරන්නේ පුනර්ජනනීය බලශක්තියට ඇදී ආ නව ආයෝජනවලින් 50%ක් පමණ නිෂ්පාදනය කරන රටවල් බව අප කවුරුත් දන්නවා. විශ්වාසදායක පදනමක් මත අනාගතය බෙදාගැනීමේ වගකීම ඉදිරියට ගෙන යෑමට එක් වූ රටවල් විසින් බොආඕ සම්මේලනය මඟින් ඇති කර ඇත්තේ මහත් විශ්වාසයක්. වෙළෙඳ බාධක ලිහිල් කරන, විවිධ ආකාරයේ සංචාරක ව්‍යාපාර සඳහා වූ ක්ෂේත්‍ර, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව සැලසුම් සහ වැඩසටහන්වලින් අපගේ ග්‍රහලෝකය වඩාත් සුරක්ෂිත සහ විශ්වාසවන්ත අනාගතයකට ගෙන යා හැකියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් බටහිර, නැඟෙනහිර අප්‍රිකාවේ සිට ආසියාවේ නැඟෙනහිර දෙසට වෙළෙඳාම් ගලා ඒම සඳහා ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග වෙනුවෙන් අප කැප වී සිටින බැවින්, එක් ව කටයුතු කිරීමට අපගේ සහයෝගය දීමට ප්‍රතිඥා දෙනවා. අප මුහුණ දෙන අනාගතය සඳහා සාර්ථක සහ විශිෂ්ට ඒකාබද්ධ වැඩසටහනක් තුළ නැගෙනහිර ආසියාවේ සිට නැඟෙනහිර අප්‍රිකාව දක්වා සහ අප සැමට එක්ව ක්‍රියා කළ හැකි නිල් මුහුද පිළිබඳ වර්තමාන තත්ත්වය වෙනස් කරනු ඇති. අනාගතය සඳහා සියලු දේශයන්ට සාර්ථකත්වය පතනවා.”

කාම්බෝජය, ඩොමිනිකා, කසකස්තානය, නාවුරූ යන රටවල ජනාධිපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවති බොආඕ සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති ෂාවෝ ලෙයිජි විසින් ආරම්භ කරන ලද අතර, ගෝලීය හරිත අරමුදලේ සභාපතිවරයා වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත,

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරුද මේ සමුළුවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT