Saturday, April 27, 2024
Home » ඉමියුනොග්ලොබියුලින් – රිටොක්සිමැප් ඖෂධ ගැනීමෙන් මිය ගිය සහ රෝගී වූ අයගේ වාර්තාවක් දෙන්න

ඉමියුනොග්ලොබියුලින් – රිටොක්සිමැප් ඖෂධ ගැනීමෙන් මිය ගිය සහ රෝගී වූ අයගේ වාර්තාවක් දෙන්න

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ‘යුමන් ඉමියුනොග්ලොබියුලින්’ සහ පිළිකා නාශක ඖෂධයක් වන ‘රිටොක්සිමැප් ‘ එන්නත් මාත්‍රා රජයේ රෝහල්වලට ලබාදීමෙන් පසු මරණයට පත්වූ හෝ මේ වන විට රෝගීන් බවට පත්වූ අය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මැයි මස 30 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියෝග කළාය.

මෙම නඩුවේ පළමු සැකකරු වන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකාර සුගත් ජානක ප්‍රනාන්දු යන අය ටෙන්ඩර් ක්‍රමවේදනයෙන් පසු වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන ලද අදාළ එන්නත් මාත්‍රා කුමන රෝහල් වෙත යැව්වාද? ඒවා ලබාදුන් වාට්ටු මොනවාද? මෙම එන්නත් ලබාදීමෙන් පසු යම් ආසාත්මිකතාවක් සිදු වී හෝ යම් ප්‍රතික්‍රියාවක් සිදුවී කිසියම් රෝගියකු මරණයට පත්වී තිබේද? කවරෙකු හෝ මේ වන විටත් රෝගී තත්ත්වයෙන් සිටිත්ද? එම රෝගීන්ට අදාළව ඇති රෝගය වර්ගීකරණය කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ මතය කවරේද? මරණයට පත්වූ රෝගීන් සිටිත් නම් ඔවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම, එම රෝගීන්ගේ දුරකතන අංක, ලිපින සහිත සවිස්තර නාම ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට ප්‍රශ්නාවලියක්ද සහිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණයෙන් එලෙස නියෝග නිකුත් විණි.

මෙම බෙහෙත් මාත්‍රා දෙකේ තිබූ ද්‍රාවණය මනුෂ්‍ය ශරීරයට අහිතකර සංඝටක අන්තර්ගතව ඇති බවත් ඒවා භාවිත කිරීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවටත් වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වූ බැවින් එම බෙහෙත් ශරීර ගතවීමෙන් කිසියම් හෝ රෝගියකු මරණයට පත්වූයේ ද නැතහොත් රෝගී වූයේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

එසේම, මෙම ප්‍රශ්නගත ඖෂධ වර්ග දෙක වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීම පිළිබඳව දෙපාර්තමේන්තුව ඇතුළත කිසියම් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ දැයි යන්න සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් විණි.

මෙම ප්‍රශ්නගත ඖෂධය බෙදාහැරීම සම්බන්ධයෙන් වන වගකිව යුතු නිලධාරීන් කවරේද? අදාළ බෙදාහැරීම සිදුකළ නාමලේඛනයක් ඇත්නම් එය කවරේද? ඊට අදාළ සාක්ෂිකරුවන් සිටිත්ද? ඊට අදාළ වර්තමාන තත්ත්වය ඇතුළු ඊට අදාළ සියලු වාර්තා කවරේ ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රශ්නාවලියකට අනුව පිළිතුරු ලබා දෙන ලෙසට අධිකරණයෙන් එම නියෝගය නිකුත් කෙරිණි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ස්ථාපිත අනුකමිටුව සහ ප්‍රධාන කමිටුව අවලංගු කරනු ලැබූ ඖෂධ සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට එම කමිටු භාර සභාපතිවරියට අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් විය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන අයවලුන් ඇතුළු සැකකරුවන් 09 දෙනකු ඊයේ (28) බන්ධනාගාරය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු අතර පස්වැනි සැකකරු ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණීල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු එම නඩුවේ සැකකරුවන් 07 දෙනකුගේ ඇප ඉල්ලීම් අධිකරණය ඉකුත් 14 වැනිදා ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, නඩු විභාගය අවසන් වනතුරු එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද නියෝග කෙරිණි.

ඒ අනුව එම සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විය.

මෙම නඩුවේ 10 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුදර්ශන යන සැකකරුවන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝගය එදිනට ඉදිරිපත් කරන බව ද මෙහිදී අධිකරණය ප්‍රකාශ කෙළේය.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මෙසේ ප්‍රකාශ කළාය.

‘’ස්වාමිනී, – වෛද්‍ය සැපයුම් පද්ධතියට ප්‍රවේශ වීම සඳහා අධිකරණයෙන් ලබාගත් නියෝග පරිදි කටයුතු කරමින් මේ වන විට පරීක්ෂණ පවත්වනවා. මෙම නඩුවේ පළමු වැනි සැකකරු සහ දෙවැනි සැකකරුගේ අත්අකුරු සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා සැකකටයුතු ලේඛන පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළා. එහිදී සමකාලීන ලේඛන කිහිපයක් අදාළ ලේඛන සමඟ සංසන්දනය කිරීම සඳහා මොවුන් ඉදිරියේදී නැවත යොමු කිරීමට සිදුව තිබෙනවා. මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත ඖෂධ ලැයිස්තු 03ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළා. එම ලැයිස්තු තුනෙන් දෙකක්, එනම් ඖෂධ 182 ලැයිස්තුව සහ ඖෂධ 285 ලැයිස්තුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අවසන් කරලා අධිකරණයට කරුණු වාර්තා කළා. අනෙක් ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගත්තා. එහි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙහි ඖෂධ 317ක් ගැන කරුණු ඉදිරිපත් වෙනවා. 2022 ඔක්තෝම්බර් මස 25 වැනිදා අටවැනි සැකකරු කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඖෂධ හිඟයක් සති තුනකින් නැති වෙනවා කියලා කියනවා. ඖෂධ 92ක් හැරුණු විට අනෙක් ඔක්කෝම නැවත ඖෂධ 317ක ලැයිස්තුවට ඇතුළත් කරලා. ඇත්තටම එවැනි හිඟයක් තිබුණේ නැහැ. අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා භාවිත කරලා යම් රෝගියකු මිය ගියාද නැතහොත් මේ වන විටත් රෝගී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පැමිණීල්ල ලබාදෙන ප්‍රශ්නාවලියට පිළිතුරු සහිත වාර්තාවක් ලබන මැයි මස 30 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වාර්තාවෙන් පසු ඊට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකි වෙනවා.’

තුන්වැනි සැකකාරිය වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන් යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායිකාව බන්ධනාගාර කාන්තා රෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඇය මේ වන විට දැඩි ලෙස රෝගී වී සිටින බැවින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවය.

එහිදී එම සැකකාරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කෙරිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක යන සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මෙහිදි නියෝග නිකුත් විණි.

මෙහි පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර ඇත. එම සැකකරු මේ වන විට විදෙස් ගතව සිටියි. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, නීතිඥ කාංචන රත්වත්තේ, නීතිඥ ජයවර්ධන යන මහත්වරු ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT