Saturday, April 27, 2024
Home » පාලම කඩාවැටීමෙන් බැල්ටිමෝර් වරායට දෛනිකව ඩොලර් මිලියන 15ක පාඩුවක්

පාලම කඩාවැටීමෙන් බැල්ටිමෝර් වරායට දෛනිකව ඩොලර් මිලියන 15ක පාඩුවක්

රැකියා අටදහසකට බලපෑම් එල්ල වී ඇතැයි ආණ්ඩුකාරවරයා කියයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් බැල්ටිමෝර් වරායේ පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීම හේතුවෙන් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී ඇතැයි එම වරාය අයත් මේරිලන්ඩ් පළාතේ ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකයේ වැදගත් සැපයුම් මාර්ගයක් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ටොන් දහසක් පමණ රැගෙන යා හැකි බත්තල් භාවිත කරමින් විශාල දොඹකර මඟින් පාලමෙහි සුන්බුන් ඉවත් කිරීමට අමෙරිකානු නාවික හමුදාව සැලසුම් කර ඇති අතර, එම පාලම නැවත ඉදි කිරීම වේගවත් ක්‍රියාවලියක් නොවූවත් හැකි ඉක්මනින් එම කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මේරිලන්ඩ් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේකම් පෝල් වීඩ්ෆීල්ඩ් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

නෞකාව පාලමෙහි ගැටෙන මොහොතේ ඉදිකිරීම් සේවකයන් අටදෙනකු පමණ පාලම මත සිටි බවත්, ඊට අමතරව වාහන කිහිපයක් ද ධාවනය වෙමින් පැවැති බවත් තහවුරු වී ඇති අතර, ගැඹුරු දිය පතුලට ඇදී ගිය රතු පැහැති කුඩා ට්‍රක් රථයක සිරවී මියගොස් සිටි දෙදෙනකුගේ මළ සිරුරු ඊයේ වන විට ගොඩගැනීමට වෙරළාරක්ෂක කිමිදුම්කරුවන් සමත් වී තිබේ. පාලමෙහි සුන්බුන් ගංපතුලේ සිරවීම හේතුවෙන් කිමිදුම්කරුවන්ට මළ සිරුරු සෙවීමේ කටයුතු අවදානම් සහිත බැවින් දෝංකාරය නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍ර භාවිත කරමින් ගඟට වැටුණු වාහන තුළ සිර වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

සිංගප්පූරුවට අයත් ඩාලි නමැති එම භාණ්ඩ නෞකාවේ අනතුරට හේතුව විදුලි බලය ක්‍රියාවිරහිත වීමෙන් උද්ගත වූ කාර්මික දෝෂයක් බවට මූලික පරීක්ෂණයේදි හෙළි වූවද, නෞකාවේ දත්ත පටිගත වූ උපකරණය මඟින් සැබෑ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT