Saturday, April 27, 2024
Home » ජාතික කලා භවන වසර අවසානයට පෙර විවෘත කිරීමට පියවර ගන්න

ජාතික කලා භවන වසර අවසානයට පෙර විවෘත කිරීමට පියවර ගන්න

ජනපති අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

දැනට වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසානයට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා (26) උපදෙස් දුන්නේය.

වසර දහතුනක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර නොමැති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලාභවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. වසර 2011 වසරේ රඟහලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණ ද‍, තවමත් එහි කාර්යයන් අවසන් කර නොතිබීමත් ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇනහිට තිබීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේය.

කලා භවන සම්බන්ධයෙන් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකඟත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුනි. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවද අවධාරණය කළේය. අද කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට ලබා ගත හැකි උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල යළි ඇරඹීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේයැයි ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යසින්තා ගුණවර්ධන, මෙම ගොඩනැඟිලි සැලසුම් කළ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී කණ්ඩායම සහ ජාතික කලා භවන ප්‍රතිසංස්කරණ භාරව ක්‍රියා කරන නාවික හමුදා නිලධාරීහු රජය නියෝජනය කරමින් එක් වූහ.

කලාකරුවන් නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර‍, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර‍, පරාක්‍රම නිරිඇල්ල‍, මෙහොමඩ් සෆීර් සහ සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT