Home » අලුත් අවුරුදු ලග්න පලාපල

අලුත් අවුරුදු ලග්න පලාපල

by sachintha
April 12, 2024 1:02 am 0 comment

මේෂ ලග්නය – ආර්ථිකයේ නව ප්‍රවණතාවක්

ධනය අතින් උසස් වෙයි. නව ආදායම් මාර්ග පෑදේ. වෘත්තීමය කටයුතු බහුල වේ. රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර හිමිවේ. තම වෘත්තියට අමතරව ව්‍යාපාර සපල වේ. එදිනෙදා ගමන් බිමන් බහුල වන අතර පිටරට යෝග තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ. තම සහායට පැමිණෙන පිරිස නිසා නව ආර්ථික ශක්තිය දිනෙන් දින දියුණු වනු ඇත. පිටරටකට ගොස් සිටින අය තම උපන් බිම වෙනුවෙන් බොහෝ සැලකිලි, ආධාර උපකාර දක්වනු ඇත.

ගෘහ ජීවිතය තුළ එතරම් සුබවාදී බවක් පෙනෙන්නට නැත. ඒ තම රාජකාරි හෝ වේවා පොදු කටයුතු වේවා ඒවායේ මතුවන කාර්යබහුලතාව නිසා වන්නට පුළුවන. පවුල් ජීවිතය සමබරව ගෙන යාමට අපොහොසත් වීම නිසා විටින් විට යුග ජීවිතයේ ගැටලු මතු වීමට ද ඉඩ ඇත.

අධ්‍යාපනයට ඉතා සුබ තත්ත්වයක් මතු කෙරෙන අතර අලුත් අලුත් දෑ පිළිබඳව ගවේෂණාත්මක ලෙස දැනුමට හසුකර ගන්නට ඇත. පොදු සමාජ කටයුතුවලින් ප්‍රසාදය හිමිවනු ඇත.

සෞඛ්‍යය අතින් යහපත් වන අතර විටින් විට මතුවන උෂ්ණ ගති නිසා බඩට, යටි බඩට මෙන්ම දණහිස ආශ්‍රිත වැටීම්, තැළීම් මතුවීමට ද ඉඩ ඇත. තම ආහාරපාන පිළිබඳ උනන්දුව වඩාත් වැදගත් වනු ඇත.

වෘෂභ ලග්නය – ව්‍යාපාරවලින් ඉහළ ආදායම්

තම ධනය හිමිවේ. දේපළක් පිළිබඳ පැවති ගැටලුවලට විසඳුම් ලැබේ. තම වාසස්ථාන ගැටලුවට සහනදායි තත්ත්වයක් උදාවේ. පැවති නීති ගැටලුවක් අකාමකා වන ලකුණු පෙනේ. නව ආයෝජනයකට සිත යොමු කරන අතර ව්‍යාපාරවලින් ඉහළ ආදායම් පෙන්වනු ද ඇත.

රැකී රක්ෂා ගැටලු මතු කෙරෙන අතර සතුරු බාධා ඒ සඳහා එල්ල වනු ඇත. තමාට ලැබිය යුතු වෘත්තීය වරප්‍රසාද වෙන අය විසින් අත්පත් කර ගැනීමට යාමේදී විවිධ මත ගැටුම්වලට මුහුණ දීමට සිදු වේ. වෘත්තියකින් පහළ වැටෙන තත්ත්වයක් ද මතු කෙරේ. පිටරට ගමන සාර්ථක වේ. ඒ සඳහා රජයේ අනුග්‍රහය ද හිමිවනු ඇත.

ගෘහ ජීවිතයේ ගැටලු ගැන සතුට, අභිවෘද්ධිය සමඟ ජීවිතය ගත වෙයි. යුග දිවියේ පැවති ගැටලු අවම වන අතර තමා වෙනුවෙන් බොහෝ දෙනෙකු සහායට පැමිණීම නිසා විශාල ආත්ම අභිමානයක් ගොඩනැඟෙනු ඇත.

අධ්‍යාපනයට සුදුසු මාර්ග විවර වේ. විභාග ආදියෙන් ජය ගනී. නව දැනුම සොයා ගොස් තම දැනුම පුළුල් කර ගැනීමට මහත් වෙහෙසක් දරයි.

ශරීර සෞඛ්‍යය අතින් එතරම් තර්ජිත නොවුවද කුස ආශ්‍රිත ආමාශගත රෝග උවදුරු විටින් විට පෙනෙන්නට ඇත. වසර මැද වන විට බොහෝ ජයග්‍රහණ හිමිවේ. දණහිස ආශ්‍රිත උවදුරක් ද පෙනෙන්නට ඇත.

 

මිථුන ලග්නය- රැකීරක්ෂා අභිවෘද්ධිය

ඉතා පැහැදිලි අරමුණක සිට කටයුතු කිරීම නිසා ස්ථිර ආදායම් මාර්ගයකට ඉඩකඩ සැලසෙනු ඇත. නව ආර්ථික ප්‍රවණතාවකට හේතු ඇතිවේ. රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර නිසා තමා නව ආයෝජන රැසකට අතපොවනු ඇත. වසර මුල සිටම ඒ තත්ත්වය පෙනෙන්නට තිබෙන අතර වසර මැද භාගයෙන් පසු බොහෝ ආදායම් මාර්ගවලට හේතු මතු කෙරෙනු ඇත.

රැකියාවේ නව ප්‍රවණතාවක් ඇතිකෙරෙන අතර තමා තම වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරනු ඇත. තමාගේ පදවි තානාන්තර පවා උසස් වන අතර තමා විසින් ඉදිරිපත් කරන නව ආර්ථීක සැලසුමක් සාර්ථක වීම නිසා ප්‍රධානීන්ගේ ආදර ගෞරවයට ද පත්වනු ඇත.

ගෘහ ජීවිතය සතුටුදායක වන අතර වසර අග වන විට තමාට හිමිවන කාර්යබහුලතාව නිසා විටින් විට තම පවුල් දිවියට විවිධාකාර බාධක කම්කටොලු මතු වීමට ඉඩ ඇති නිසා දැන් සිට කල්පනාකාරී වන්න.

අධ්‍යාපනයට යහපත් කාලයක් වන අතර විභාගාදී ජයග්‍රහණ මෙන්ම විවිධ භාෂා ඉගෙන ගැනීමේ වාසනාව නිරන්තරයෙන්ම හිමිවනු ඇත.

ශරීර සෞඛ්‍යය යහපත් වන නමුදු පපුවේ සෙම වියළි ගති, හිසේ සෙම් ගති මතුවීම නිසා එදිනෙදා කටයුතුවලට පීඩාකාරී තත්ත්වයක් එළඹීමට පුළුවන.

කටක ලග්නය- යහපත් මිනිසුන් ඇසුරට

හදිසි ධන ලාභ සහිතයි. ලොතරැයි ජය හා දේපළ හිමිකම් ආදිය ද මෙහිදී පෙන්වනු ඇත. වැවිලි කටයුතු කෙරෙන් උසස් ප්‍රතිලාභ හිමිවන අතර යහපත් මිනිසුන් ඇසුරට වැටීම තුළ ඉතා පැහැදිලි මානසිකත්වයකින් තම දිවි ගමන ආලෝකවත් කර ගැනීමට අවස්ථාව උදාවේ.

රැකී රක්ෂා අභිවෘද්ධිය උදා වන අතර එක වගකීමක් නොව වගකීම් රැසක ප්‍රවීණත්වය, ප්‍රධානත්වය හිමිවෙයි. වසර මුල සිටම මේ තත්ත්වය වැඩිදියුණු වන අතර වසර අග භාගයේ බොහෝ විට වෘත්තීය මට්ටම ඉතාම උසස් තත්ත්වයකට පත්වනු ඇත. ගෘහ ජීවිතයේ ගැටලු අවම වන අතර නිතර නිතර පෞද්ගලික මට්ටමේ ගමන් බිමන් යෙදෙනු ඇත. වාසස්ථාන ගැටලු ද අවම වන අතර තම ජීවිතයේ විවිධ වූ ආශ්වාදජනක තත්ත්වයන් නිසා සිතේ සතුට අභිවෘද්ධියට ද හේතු වෙයි. යහපත් මිනිසුන් ඇසුරට ලැබේ.

නව දැනුම සොයා යන ගමනේ තමාට විවිධ වූ ඥාන ශක්තීන් ඇති පිරිස් මුණගැසෙයි. ඒ අතර ආගමික ශාස්තෘවරුන්ගේ උපදෙස් අනුශාසනා පිළිපදිමින් ඉදිරියට යනු ඇත.

ශරීර සෞඛ්‍යය පිළිබඳ එතරම් බියවිය යුතු නැත. තුනටිය ආශ්‍රිත යම් ඇදීමක් මතු කෙරෙන නිසා අධික බර ඉසිලීම වැනි කටයුතුවලින් ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය-පරිත්‍යාගශීලි ජීවිතයක්

නව ආර්ථික මට්ටමකට පත්වේ. නව ආයෝජන කීපයකට අත ගසයි. වෙළෙඳ ව්‍යාපාර ජය හිමිවේ. නවතා දමා තිබූ කර්මාන්තයක් අලුතින් ආරම්භ කෙරෙනු ඇත. පුණ්‍යවන්ත වේ. උසස් සිතුවිලි ඇතිව තම ජීවන සටන ජය ගැනීමට හැකියාව ලබයි. තම ආදායම් තත්ත්වය උසස් වීම තුළ විවිධ පුද්ගලයින් සඳහා පරිත්‍යාග ප්‍රදානයන් කිරීමට ඔබට හැකිවනු ඇත.

වෘත්තීය මට්ටමේ පැවති බාධා කම්කටොලු මඟ හැරේ. විරැකියාව තුරන් වේ. තමාට හිමිවන්නට තිබී යටපත් වූ තනතුරක් තමාට හිමිවේ. ඉතා සතුටින් සෙසු අය සමඟ එකට අත්වැල් බැඳ රාජකාරි කිරීමට වාසනාව උදාවේ.

ගෘහ ජීවිතය සතුටුදායක වන අතර විටින් විට තමා අදහස් කරගෙන සිටි ආකාරයට පිංකම් රැසක් නි‍ෙවස තුළ සිදු කිරීමට යොමුවේ. තම ආත්ම අභිමානය වැඩිදියුණු වන ආකාරයට සිතිවිලි සෞම්‍ය ලෙස සැකසෙනු ඇත. අධ්‍යාපනය ගත්තත් තමාට මීට පෙර එපා වී තිබූ විෂයයක් ඉතා උනන්දුසහගතව ඉගෙනීමට අවස්ථාව උදාවේ. එහි උසස් සාමර්ථ්‍යයක් ලබා ගැනීමට අවස්ථාව උදාකර ගනී. සෞඛ්‍ය අතින් ගැටලු නොවේ. උගුරේ ආපදා මතු කෙරෙන නමුදු ඒවා එතරම් ගණන් ගත යුතු ඒවා නොවේ.

කන්‍යා ලග්නය-හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ සහිතයි. ලොතරැයි ජය වුවද ඒ අතර වෙයි. තමා කලකට පෙර ආයෝජනය කර තිබූ ව්‍යාපාරයකට උසස් ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගනී. තව තවත් තමාගේ ආර්ථිකය සරුවන ලකුණු පෙනේ. වියදම පාලනය කර ගත යුතු වෙයි. නැතහොත් ලැබෙන තරමට ඉදිරිය මඳවීම නිසා අනාගත ආර්ථික ගැටලුවලට හේතු වෙයි.

වෘත්තීය මට්ටම උසස් වේ. රැකියාවේ ප්‍රවණතාවක් තදින්ම මතුවේ. නව අදහසකට අනුව තමා වෘත්තීය දැනුම වැඩිදියුණු කර ගැනීම තුළ නව පදවි තානාන්තර පවා අත්පත් කර ගැනීමට හැකිවේ. එක රැකියාවකින් නොව රැකියා කීපයක නිරතවීමට ඉන් විශාල සමාජ සත්කාරයක් සිදු කිරීමට දක්ෂ වෙයි.

ගෘහ ජීවිතය පිළිබඳව සතුටුවිය හැකි අතර පවුලක් වශයෙන් එකට ජීවත්වීමේදී අන්‍යොන්‍ය සබඳතාව ශක්තිමත් වනු ඇත. නි‍ෙවසේ පුණ්‍යකර්ම රැසක් සිදු කෙරෙන අතර පොදු ජනතාවට විශාල සේවාවක් කිරීමට ද කටයුතු සැලසෙයි.

අධ්‍යාපනය අතින් අලුත් අලුත් දේ ඉගෙනීමට පෙලඹේ. භාෂාව පිළිබඳව විශේෂ උනන්දුවක්, උත්සාහයක් මතුවීම නිසා විවිධ පන්ති කරා යාමට සිත යොමුවේ.

ශරීර සෞඛ්‍ය යහපත් වන අතර බිම් ආහාරයක දාහය උෂ්ණය නිසා මුත්‍ර ස්ථානගත වකුගඩු සම්බන්ධ අසාත්මිකතා මතුවීමට ඉඩ ඇත. ඒවා රෝග වශයෙන් වැඩිදියුණු වීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ගන්න.

තුලා ලග්නය-හදිසි ධන හානි

තමාට උරුම ධනයක් නොසිතූ අයුරු තමාට හිමිවේ. නඩුවකට පැටලී තිබූ දේපළක් නිදහස් වීම තුළද එසේ විය හැකිය. තවද යම් මහපොළොව ආශ්‍රිත වස්තුවක් එනම් මැණික් වාසනාව වුවද හිමිවනු ඇත. වැවිලි ක්ෂේත්‍රයේ අයට සරු පලදාවක් ලැබීම නිසා ධනය හිමිවනු ඇත. එහෙත් වියදම උග්‍ර කෙරෙන හදිසි ධන වැයවීම් පෙන්වන නිසා කල්පනාකාරී වන්න.

රැකී රක්ෂා අතින් සුබ වෙයි. නව තනතුරු හිමිවෙයි. රැකියා ස්ථානගතව පැවති සතුරු බලවේග යටපත් වෙයි. සමාජයේ පිළිගැනීමට ලක් වෙයි. වේතනයේ සැලකිය යුතු ප්‍රවර්ධනයක් ද සහිතයි. දුර බැහැර ගමන් යෙදේ.

ගෘහ ජීවිතය සතුටුදායක වේ. තම එදිනෙදා කටයුතුවල කාර්යබහුලතාව නිසා යුග දිවියේ යම් යම් කටයුතු අඩාළ වන නමුදු තේරුම් ගැනීම හා එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳීම නිසා ඒවා මඟහැරෙනු ඇත.

අධ්‍යාපන‍ෙය් නව මං හෙළිවන අතර කිසියම් පාඨමාලාවක් නිසා ජීවිතය උසස් තලයට පැමිණීමට හේතු වේ. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි.

ශරීර සෞඛ්‍යයේ ගැටලු මතු වේ. පාදයේ වලළුකර ආශ්‍රිත යම් සුළු සුළු උවදුරු මතු විය හැකි වෙතත් යම් සුපරීක්ෂාකාරී බවක් වෙතොත් ඒවා ද අවම කර ගත හැකියි.

වෘශ්චික ලග්නය-විනෝදාස්වාදයට කැපවේ

ආදායම් මට්ටම පහත වැටේ. වසර මැද භාගයේ උසස් ආර්ථික මට්ටමකට පත්වේ. හුදු විනෝදාස්වාදය නිසා ආර්ථික වියදම් මතු කෙරේ. තම අභිවෘද්ධිය උදෙසා නව ව්‍යාපාරයකට අත ගසයි. හුදෙක්ම පරෝපකාරය සඳහා තම කාලය මිඩංගු කෙරේ.

තම වෘත්තීය ස්ථානගත ගැටලු විටින් විට මතුවිය හැකි වුවද ඉතා හිතෛෂී අයකු මඟින් ඒවා අවම කර ගැනීමට අවස්ථාව උදාවේ. පඩිනඩි, උසස්වීම් මෙන්ම තම වෘත්තීය මට්ටම උසස්වීමට ද බලපායි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රසාදයට ඇගයීමට ලක්වේ. වසර මැද සිට එම තත්ත්වය කෙමෙන් ප්‍රවර්ධනය වීමට බලපායි.

ගෘහ ජීවිතය සපල වේ. විනෝදය, ආශ්වාදය මත ජීවිතය ගලා යයි. පිටස්තර අය සමඟ ගැටීමෙන් යම් යම් දෝෂාරෝපණ අසන්නට ලැබුණ ද ඒවා සමථයකට පත්කර ගැනීමට සමත් වෙයි. අධ්‍යාපනයට ළැදිවේ. මොන වයස් මට්ටමක සිටියත් ඉගෙනුමට යොමුවේ. පොත්පත් කියවීම – කවි ගී රචනා කිරීම ආදියට යොමුවේ. සිතට සැනසුම උදාවේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය ඇසුරට ලැබේ. විවිධ ආකාරයේ දැනුම් සම්භාරයක් උදාකර ගත හැකිය. ශරීර සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවන අතර පපුවේ සෙම, හතිය දැඩි වීම තුළ අසනීප සෑදේ. වයිරස් උණ වැලඳීමේ ප්‍රවණතාව වැඩිය.

ධනු ලග්නය-සුඛ විහරණයට වාසනාව

හදිසි ධනය – වාහන – ඉඩම් – නිවාස පල උදාවේ. යටපත් වූ ධනයක් හිමිවේ. විවිධ ආකාරයේ ලැබීම් පෙන්වන අතර තම සුඛ විහරණය උදෙසා විශාල වාසනා මහිමයක් උදාවේ. රැකියාවේ බාධා එළඹේ. තමාට එබූ ස්ථානවල සතුරු බලවේග උදාවේ. එහෙත් සතුරෝ පලවා හැරීමට අවශ්‍ය ජවය, ශක්තිය උදාවේ. වසර මැද භාගය හා අවසන් භාගය ඉතා යහපත් ආර්ථික මෙන්ම වෘත්තීමය යහපත උදාවනු ඇත.

ගෘහ ජීවිතයේ විවිධ හැලහැප්පිලි වෙතත් තමා වෙනුවෙන් පෙනී සිටින අය නිසා ගැටලුවලින් මිදී සිටීමට හැකිවේ. දුර බැහැර ගමන්බිමන් යෙදේ. ගෘහ කටයුතු අඩාළ වේ. අඹුසැමි උවදුරු කරදර උදාවිය හැකිය. තම ආධ්‍යාත්මික ගුණවගාව වැඩිදියුණු වන ආකාරයට පසුබිම සැකසේ.

අධ්‍යාපනයට වඩා වඩාත් යොමුවීම තුළ මානසික ඒකාග්‍රතාව බිඳවැටෙනු ඇත. කොතෙක් කටයුතු බහුල වුවද විඳ දරා ගැනීමේ ශක්තිය උදාවන හෙයින් ගැටලු මතු නොවේ.

සෞඛ්‍ය අතින් බියවිය යුතු නැතත් පපුවේ නහරගත ආපදා – ලේ ගමනයේ අක්‍රමිකතා මතුවිය හැකිය. සැර උෂ්ණ තෙල් ආහාරපාන අවම කළ යුතු අතර කුස ගෑස් නිසා ඇතිවන ආපදාවලින් මිදීමට ඇඟ නිවෙන ආහාරපාන ගන්න.

මකර ලග්නය-රැකියා බාධා මඟ හැරේ

දේපළක හිමිකම පවතී. යටපත් වූ උරුමයක් නැවත මතු කෙරේ. තම ඥාති පිරිසකගේ පොදු එකඟතාව මත තමාට ඉඩමක්, නි‍ෙවසක් හිමිවන ලකුණු පෙනේ. වර්ෂයේ ආරම්භය දුක්ඛිත වුවද වසර මැද භාගයෙන් පසු විශේෂයෙන්ම වසර අවසාන භාගය තමා ඉතා උසස් ආර්ථික මට්ටමක් ගොඩනඟා ගනී, පොදු සමාජ කටයුතු නිසා බොහෝ දෙනෙකු තමාට සමීප වනු ඇත.

රැකියා ස්ථානගතව පැවති බාධා මඟහැරේ. තම අයිතිවාසිකම් පසුපස හඹා යයි. ඒ වෙනුවෙන් සටනට වුවද සැරසේ. ගෘහ ජීවිතයේ ගැටලු නැත. වෘත්තියට බලපෑ යම් අක්‍රමිකතාවක ප්‍රතිඵලයක් ලෙස තමාට වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් උදාවනු ඇත. තමා ස්වඋත්සාහයෙන් නැඟී සිටීමට ගන්නා උත්සාහය කාගේත් පැසසුමට ලක්වේ.

අධ්‍යාපනය පිළිබඳ සිතන විට නව අත්දැකීම් සමඟ පොතපතට ඇති ළැදියාව දෙගුණ තෙගුණ වේ. යහපත් මිනිස් ඇසුර නිරන්තරයෙන්ම උදාවන අතර තම දූ දරු සබඳතාව ඉතා යහපත් ලෙස කාගේත් පැසසුමට ලක්වන ආදර්ශවත් එකක් වනු ඇත.

සෞඛ්‍ය මට්ටම සුබවාදී වන අතර වා-පිත්-සෙම් රෝග මතුවේ. ඒ සඳහා ප්‍රවේශම් විය යුතු වෙයි. ආහාරපාන පිළිබඳ ප්‍රවේශම ද, සීතල ආහාර මෙන්ම සැර උෂ්ණ ආහාර පිළිබඳව ද සැලකිලිමත් ලෙස කටයුතු කරන්න.

කුම්භ ලග්නය-නව ආර්ථික සැලසුමක් සාර්ථක වේ

තම ආර්ථික දියුණුව වෙනදාට වඩා යහපත් වේ. විවිධ ආදායම් මාර්ග උදාවේ. යහපත් මාර්ගවලින් මුදල් ඉපයීමට වාසනාවන්ත වෙයි. නව ව්‍යාපාර දියුණු වේ. ඉතා උසස් ආයෝජනයකට යොමුවේ. තමාට නිරන්තරයෙන්ම නව අරමුණක පිහිටා ආර්ථික කටයුතුවල නිරතවීමට පුළුවන් වේ.

වෘත්තීය මට්ටම උසස් වේ. නව තනතුරු, පදවි, නම්බුනාම හිමිවේ. වේතනයේ සැලකිය යුතු ප්‍රවර්ධනයක් පෙන්නුම් කෙරේ. තමාට එරෙහිව නැඟී සිටි පිරිසක් යම් ආකාරයක යටහත් පහත්භාවයකට පත්වේ. නව ආර්ථික සැලසුමක් ක්‍රියාවට නංවා එය සාර්ථක වීම නිසා බොහෝ අයගේ ප්‍රසාදයට, ඇගයීමට ලක්වේ. පොදු කටයුතු වැඩිදියුණු වේ.

ගෘහ ජීවිතයේ විවිධ බලාපොරොත්තු සපල වේ. නි‍ෙවසේ උත්සව ස්වභාවයක් දක්නට ලැබේ. තමා මීට පෙර බලාපොරොත්තු නොවූ ආකාරයේ යහපත් අනාගතයකට මාර්ගය සැලසේ.

අධ්‍යාපනය අතින් උසස් දැනුම සොයා යයි. ඒ නිසාම තමාගේ ඉදිරි අනාගතයට එය ආධාරකයක් වෙයි. නොසිතූ ආකාරයේ පුද්ගලයකු මඟින් ජීවිතයට නව ජීවයක් උදාවේ.

ශරීර සෞඛ්‍යය අතින් එතරම් අසුබ නොවූවද තුනටිය ආශ්‍රිත උවදුරු පෙනේ. විශේෂයෙන් බර ඉසිලීමේදී ප්‍රවේශම් වන්න.

මීන ලග්නය-පිටරට රැකියා වාසනාව

ධන සම්පත් උදාවේ. කලක් සැලසුම්සහගතව කරගෙන ආ ව්‍යාපාරයක් ඉතා උසස් තලයට පත්වීම නිසා එය ඉදිරියටත් කරගෙන යාමට සිතයි. වියදම අධික වුවද එය එතරම් නොදැනෙන මට්ටමට පත්වන්නට තරම් ධනය ලැබේ. ලොතරැයි ජය, වගා කටයුතු හා මැණික් කර්මාන්තයේ නියැළෙන අයට ජීවිතය සුබ වේ. ධීවර කර්මාන්තයේ නියැළෙන අයට උසස් ආර්ථීක මට්ටමකට යාමට අවකාශ ලැබේ.

රැකියාව අතින් ද නව රැකියා හා කරගෙන ආ රැකියාවේ උසස්වීම් සහිතයි. එදිනෙදා කා සමඟත් සුහදශීලි වීම නිසා තමාට එළඹෙන ගැටලුවලදී බොහෝ අයගේ ඇප උපකාර ලැබේ. එසේම නව පත්වීම් හා පිටරට රැකියා වාසනාව උදාවේ. ගෘහ ජීවිතයේ සතුටුදායක මට්ටමක් උදාවේ. නි‍ෙවසේ සාමය, සමඟිය උදාවනු ඇත. නි‍ෙවසේ අය අතර විවිධ ගමන් බිමන්, පින් දහම් සිදුකරනු ඇත. කොයි කා අතරත් ආදරය හා සහෝදරත්වය දින දින වැඩිදියුණු වේ.

අධ්‍යාපනයට තිබෙන උනන්දුව නිසාම ඒ හා සබැඳි පාඨමාලා පිළිබඳ කැපවනු ඇත. දුරදිග සිතා බලා කළ ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස පිටරට ගමනකට, පිටරට අධ්‍යාපනයකට වාසනාව පෑදේ.

සෞඛ්‍ය මට්ටම අතින් මුත්‍ර දෝෂ, හිසේ ආපදා හා විවිධ මානසික ගැටලු නිසා විවිධ ආකාරයේ සිතට වධ දෙන කරුණු කාරණා යෙදේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT