Home » කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

by sachintha
April 18, 2024 1:26 am 0 comment

කටින් බතල හිටවන අයට ජනතාව මෙවර මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වනු ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දේශපාලනඥයෝ කරන වැඩ වෘත්තීය සමිති අගය නොකරන බවත් ජනතාව ඒවා අගය කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ කරුණු හෙළි කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්‍රික කොට්ඨාසය සහ යන්ත්‍රෝපකරණ කොට්ඨාසය එක්ව භාවිතයෙන් ඉවත් කරන ලද ප්‍රයිම් මුවර් රථ 05ක් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව වරාය අධිකාරියට භාරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. “වෘත්තීය සමිති හිතන්නේ දේශපාලනඥයෝ නැතිව ඒ අයගේ වැඩ තනියම කරගන්න පුළුවන් කියලා. නමුත් කෙරුණ දෙයක් කෙරුණේ දේශපාලනඥයන් නිසා බව මතක තියා ගන්න. පඩි වැඩිවීම්, බෝනස් ලබාදීම් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබාදීම් කිසිවක් දේශපාලනඥයන් නැතිව කරගන්න බැහැ. ඇතැම් අය ඉන්නවා කටින් බතල කොළ හිටවන අය, තව සමහරු ඉන්නවා හීනෙන් දකින ඒවා කියවන. ඒ අයට ලබන මැතිවරණයේ දී ජනතාව හොඳ පාඩමක් උගන්වනවා’ යැයි පැවැසීය.

මෙම ප්‍රයිම් මුවර් රථ පෞද්ගලික අංශයෙන් අලුත්වැඩියා කිරීමට එක් රථයක් සඳහා ලක්ෂ 25ක් වැනි මුදලක් ඇස්තමේන්තු කර තිබූ අතර යාන්ත්‍රික ඉංජිනේරු කොට්ඨාශය මඟින් එක් ප්‍රයිම් මුවර් රථයක් ලක්ෂ 05ක් වැනි මුදලකට අලුත්වැඩියා කිරීමෙන් ලක්ෂ 100ක පමණ මුදලක් වරාය අධිකාරියට ඉතිරි කර දී ඇත. මෙවැනි අබලන් ප්‍රයිම් මුවර් රථ 30ක් පමණ ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත බවත් එම අංශයේ ප්‍රධාන ඉංජිනේරුවා පවසයි. මේ වනවිට වරාය මෙහෙයුම් කටයුතු සඳහා මෙවැනි ප්‍රයිම් මුවර් රථ 140ක් පමණ යොදවා ඇත.

මෙම රථ භාරදීමේ අවස්ථාවට වරාය අධිකාරියේ වැඩබලන සභාපති ගයාන් අලගේවත්තගේ, කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් මලවිගේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT