Home » බන්ධනාගාර රැඳවියකට දෙන්න ගෙනා දන්තාලේප ටියුබයක් තුළ හෙරොයින් සහ අයිස්

බන්ධනාගාර රැඳවියකට දෙන්න ගෙනා දන්තාලේප ටියුබයක් තුළ හෙරොයින් සහ අයිස්

by sachintha
April 18, 2024 1:09 am 0 comment

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු වෙත ලබාදීමට දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂ්ම ලෙස සඟවාගෙන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන ආ පුද්ගලයකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් (බන්ධනාගාර බුද්ධි අංශ) අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (17 දා) පසුවරු 1.40ට පමණ පැමිණි මෙම පුද්ගලයා රැගෙන ආ ද්‍රව්‍ය වේස්ලි සෝදිසි මුරපොළෙහි පිටතින් රැගෙන එන භාණ්ඩ හා අමුත්තන් සෝදිසි කිරී‍ෙම් රාජකාරියේ නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර දන්තාලේප ටියුබය ගැන සැක සිතී කළ වැඩිදුර පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයා සැකකරුගේ යහළුවකු වන අතර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත. මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවැසීය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT