Home » කෑගලු අවුරුදු උත්සවයකදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියා ගෙදරින් එළවා දමලා

කෑගලු අවුරුදු උත්සවයකදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියා ගෙදරින් එළවා දමලා

by sachintha
April 18, 2024 1:04 am 0 comment

ගමේ අවුරුදු උත්සවයේදී සූප්පුවෙන් කිරි බීමේ තරගයේදී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවෙසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 36 හැවිරිදි දෙදරු පියකු සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නි‍වෙසේ පදිංචිව සිටියි. මොහු මීට වසර 11කට පෙර විවාහ වී ඇති අතර, මෙම විවාහයට පෙර තරුණ අවධියේදී මොහු ගමේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඊට මවුපියන් දැඩි අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයා සම්බන්ධය නතර කර තිබේ. පසුව මවුපියන් විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක 2013 වසරේ සොයාගෙන තරුණයාට විවාහ කර දී කෑගල්ලේ නිවෙසට කැන්දාගෙන පැමිණ තිබිණි.

කාලයක් ගත වෙද්දී සිය සැමියාගේ පළමු සම්බන්ධතාව පිළිබඳ බිරිය දැනගෙන අවස්ථා කිහිපයකදීම දෙදෙනා අතර බහින්බස් වීම් ද සිදුව තිබේ. “මුල් කාලයේ මාස කිහිපයක සම්බන්ධතාවක් තිබුණා තමයි දැන් නතර කරලා කොයි කාලයක් වෙනවාද? මම ඒ ගෑනි එක්ක කතා කරන්නේ නෑ. ඒ ගෑනි මා එක්ක කතා කරන්නේ නෑ” යැයි දෙදරු පියා බිරිය හමුවේ අවස්ථා කිහිපයකදීම පවසා ඇත.

ඉකුත් දිනක ගමේ වෙල්යායේ අවුරුදු උත්සවයක් පැවැත්විණි. මෙම අවුරුදු උත්සවය නැරඹීමට 36 හැවිරිදි දෙදරු පියා ද පෙරවරුවේ වෙල්යායට ගොස් ඇත.

සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත් වීමට කැමැති තරගකරුවන්ගේ නම් කාර්යාලයට ලබා දෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සංවිධායක මණ්ඩලයට ඉල්ලීමක් කළේය. 36 හැවිරිදි දෙදරු පියා ද සූප්පුවෙන් කිරි බීමේ තරගයට සහභාගි වීමේ අරමුණින් තම නම කාර්යාලයට ලබා දීමක් සිදු කර කෙරිණි.

තරගය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කෙරිණි. තරගකරුවන් 12 දෙනකු සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත්ව තිබිණි. බෝතලයකට කිරි පුරවා සූප්පුවක් සවි කර කාන්තාවක කිරි පොවද්දී තරගකරු අත් දෙක පිටුපසට කරගෙන සිටිය යුතු බව සංවිධායක මණ්ඩලයේ නීතිරීති විය.

36 හැවිරිදි දෙදරු පියා ඇතුළු තරගකරුවන් 12 දෙනා සංවිධායක මණ්ඩලය විසින් පෝලිමට තැබූහ. 36 හැවිරිදි දෙදරු පියා 12 වැනියාට සිටියහ. ඔහුට සූප්පුවෙන් කිරි පෙවීමට සිටියේ තරුණ අවධියේදී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන තරුණියයි. කාන්තාව දෙදරු පියා සමඟ කතාබහක් නැතිය කිරි පෙව්වාය. දෙදරු පියා ද කතාබහක් නැතිව සූප්පුවෙන් කිරි පානය කර තිබිණි. අන්තිමේදී දෙදරු පියා සූප්පුවෙන් කිරි බීමේ තරගයේ පළමු ස්ථානය හිමි කර ගත්තේය. ඔහුට ත්‍යාගයක් ලෙස උණුසුම් වතුර බෝතලයක් පිරිනැමිණි. අවුරුදු උත්සවයේ සිටි ගමේ කාන්තාවක දෙදරු පියාගේ බිරියට දුරකතනයෙන් කතා කොට සූප්පුවෙන් කිරි බීම සම්බන්ධයෙන් දන්වා තිබේ.

අවුරුදු උත්සවය අවසන් වීමට පෙර නි‍වෙසට ගිය දෙදරු පියාට බිරය යකින්නියක් ලෙස ඇඟට කඩා පැන අඬා දොඩා වැළපෙමින් විවිධ චෝදනා එල්ල කර තිබිණි. අවසානයේ කාන්තාව සැමියා නිවෙසින් එළවා දමා ඇත. පසුව දෙදරු පියා මවුපියන් පදිංචිව සිටින නි‍වෙසට ගොස් ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT