Home » සර්වෝදයෙන් සමාජ නවෝදයක් උදා කළ – ඒ.ටී. ආරියරත්න

සර්වෝදයෙන් සමාජ නවෝදයක් උදා කළ – ඒ.ටී. ආරියරත්න

by sachintha
April 18, 2024 1:06 am 0 comment

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා නිර්මාතෘ සහ සම්මානිත සභාපති ධුරය දරන ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාර සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 වසරේ සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇත්තේය. මිය යන විට ඒ මහතා 93 වැනි වියෙහි පසුවූ අතර මේ ලිපිය එය නිමිත්තෙනි.

1931 නොවැම්බර් 5 වැනිදා උපත ලද ඒ මහතාගේ මවුපියන් වූයේ උණවටුනේ පදිංචිව සිටි හෙන්ද්‍රික් ජිනදාස මහතා සහ රොස්ලින් ගජදීර මහත්මියයි. පවුලේ තුන්වැනි දරුවා ලෙස උපත ලද ආරියරත්න මූලික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙනි. අනතුරුව බළන්ගොඩ මැද්දකන්ද විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. උණවටුන බොනවිස්ටා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ආරියරත්න උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගනු ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. 1956 වසරේදී ඔහුට මහරගම ගුරු විදුහලට ඇතුළත්වීමේ වාසනාව ලැබිණි. එහිදී පළමුපෙළ විද්‍යා පුහුණු ගුරු සහතිකය ලබාගත් ආරියරත්න අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාල‍යෙන් කලා උපාධිය හිමිකර ගත්තේය.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කළේය.

ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම, දස පාරමිතා, සප්ත අපරිහානීය ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නොයෙක් සූත්‍ර ධර්මයන් ආදී ඉගැන්වීම් ඔහු ඉතා ප්‍රායෝගික ලෙස හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැනි බෞද්ධ නොවන ප්‍රජාවන් ද ඇතුළත් ග්‍රාමීය ප්‍රජාවන් 15,000කගේ එදිනෙදා ජීවිතයට හඳුන්වා දුන්නේය. ඔහු සිය සගයන් හා එක්ව, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම්වූ, සියලු දෙනාම මට්ටම් හයකින් අවදි කිරීමේ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුවක් සර්වෝදය නමින් වර්ධනය කළේය: පෞරුෂෝදය (මානව පෞරුෂයේ උදාව), කුටුම්බෝදය (පවුලේ උදාව), ග්‍රාමෝදය (ගමේ උදාව), නගරෝදය (නාගරයේ උදාව) දේශෝදය (ජාතියේ උදාව) සහ විශ්වෝදය (ලෝකයේ විශ්වයේ උදාව).

වසර හැට අටකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ඒ මහතාගේ මානව සමාජ සේවාව අගය කිරීම සඳහා 1969 වසරේදී ප්‍රජා නායකත්වයට හිමිවූ රුමන් මැග්සයිසයි (RAMAN MAGSAISAY AWARD FOR COMMUNITY LEADERSHIP PHILEPING) ත්‍යාගය පිරිනැමීය. ඉන් අනතුරුව අමෙරිකාව, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඉන්දියාවෙන්ද ඒ මහතාට ගෞරව සම්මාන පිරිනමා ඇත. 1986 වසරේදී ශ්‍රී ලංකාවේ දේශබන්දු ගෞරව සම්මානය ද හිමි විය.

ඒ මහතාට හිමිවූ සම්මාන අතර අමෙරිකාවේ රෝස් දිවයිනේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය මඟින් ලෝක සාගින්න අඩු කිරීම සහ නිවාරණය කිරීම සඳහා පිරිනමන ලද ඇලෂොන් ෂයින්ස්ටයින් ත්‍යාගය ද වෙයි. ගාන්ධි සාරධර්ම, ඉන්දියාවෙන් පිට ප්‍රචලිත කිරීම වෙනුවෙන්ද ඒ මහතාට ත්‍යාගයක් පිරිනැමිණි. ඉන්දියාව මඟින් පිරිනමන ලද ගාන්ධි සාම ත්‍යාගය ද ආරියරත්න මහතාට හිමිවිය. උසස් ශාස්ත්‍රීය ප්‍රවීණතා සම්මානය ඔහුට පිරිනමන ලද්දේ ජපානයේ සෝකා විශ්වවිද්‍යාලය මඟිනි. අමෙරිකාවේ අන්තර් ආගමික සම්මේලනය මඟින් පිරිනමන ලද සාම සාධනය හා අහිංසාවාදී සමාජ පරිවර්තනයක් සඳහා දායකත්වය වෙනුවෙන් විශ්ව ග්ලෝබල් සාම සම්මානය ඔහුට හිමිවිය. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ජාත්‍යන්තර සාම ත්‍යාගය ද ආරියරත්න මහතාට ලැබිණි.

අමෙරිකාවේ මැඩ්සන් විශ්වවිද්‍යාලයේ ද ජාත්‍යන්තර විශ්වාසය සහ වටිනාකම පිළිබඳ ආයතනයෙන් පිරිනමන ලද යාදෙන දර්ශනය සහ වටිනාකම් ත්‍යාගයද හිමිකරගත් ආචාර්ය ආරියරත්න මහතාට ශ්‍රී ලංකාවෙන් ද සම්මාන රැසක් හිමි විය. ඒ අතර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් විශ්වකීර්ති ශ්‍රී ජනරංජන ලංකාමාන්‍ය ගෞරව නාමය ද කෝට්ටේ ශ්‍රී කල්‍යාන සාමග්‍රී ධර්ම සභාව මඟින් පිරිනමන ලද ජගත් විශ්‍රැත යශෝභිමානි ගෞරව නාමය ද ඇතුළත් වී තිබේ.

තවද ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් Doctor of Letters (D.Litt.) උපාධියෙන් හා පිලිපීනයේ Amelio Aguinaldo College of Medicine වෙතින් Doctor of Humanities (D.H.) ගෞරව උපාධිවලින් ද පිදුම් ලැබීය. මේ අනුව ජාතිය උ‍දෙසා කරන ලද ප්‍රශංසනීය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සහ විදේශවලින් ලද සම්මාන සහ ගෞරව නාම පනහකට අධික සංඛ්‍යාවක් ඒ මහතාට හිමි වී තිබේ. කවියෙකු සහ ගීත රචකයෙකුද වන ඒ මහතා විසින් ග්‍රන්ථ රැසක් ද ලියා පළකර ඇත. එම ග්‍රන්ථ අතර ස්ව චරිත ප්‍රදානය වූ කාණ්ඩ හතරකින් යුතුවූ භව තණ්හා ප්‍රමුඛස්ථානය ගනියි.

ඒ.ටී. ආරියරත්න මහතාගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ මහාචාර්ය ලීල් ගුණසේකර මහතා විසින් රචනා කරන ලද ත්‍රිකෝණ අරගලය නම් කාව්‍ය සංග්‍රහයේ ආරියරත්නයන් පිළිබඳව ලියවුණු ගීතයක් මෙහි සඳහන් කළ යුතුය.

“බුදුන් හෙළිකළ මඟින් මෙත් සිත්

වඩා ගනඳුරු දුරු කරන්නට

වීරියෙන් ප්‍රතිඵල ලබාගෙන

හැම සතන් සිත් පිනා යන්නට

සැනින් නොසැලෙන දනන් තනමින්

ඔවුන් සමගින් පෙරමුණට යන

සොහොයුරාණෙනි මමත් කැපවෙමි

ඔබේ තිරසර සසර මෙහෙයට”

යනුවෙනි.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාණෙනි, ඔබ මෙරටට මේ දක්වා සිදු කළ සමාජ සත්කාර සේවාව මේ අයුරින් කෙටිකර ලියන්නට නොහැකිය. අපේ මේ පුංචි රට ලොව පුරා කීර්තියට පත්කිරීමට ඔබෙන් සිදුවූ සේවාව සුළුපටු නොවේ. විශිෂ්ට සංස්කෘතියක් සහ සාහිත්‍යයක් මෙරටට බිහිකරන්නට ඔබතුමාගේ සර්වෝදය ඉවහල් වූ බැව් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාණෙනි, ඔබට සුබ ගමන්!

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT