Home » ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිගේ සමාජ සත්කාරක මෙහෙවර සිංගප්පූරුවේදී අගැයීමට ලක් කෙරේ

ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිගේ සමාජ සත්කාරක මෙහෙවර සිංගප්පූරුවේදී අගැයීමට ලක් කෙරේ

by sachintha
April 18, 2024 1:03 am 0 comment

දැනට දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිංගප්පූරුවේ වැඩ සිටිමින් එරට වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හා සමස්ත බෞද්ධ ජනතාව මෙන්ම ලක්වාසී ජනතාව වෙනුවෙන් ද ආගමික ශාසනික හා මහඟු සමාජ සත්කාරක මෙහෙවරක් ද කරමින් සිටින සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමවාසී ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිපාණන්ගේ 70 වැනි ජන්ම දිනය පසුගියදාට (14) යෙදී තිබිණි.

එදින සෙරන්ගුන්හි PGP ශාලාවේ දී පැවති සිංහල – දමිළ අලුත් අවුරුදු සංස්කෘතික උලෙළේ දී ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය සැමරීම හා එම ආගමික ශාසනික මෙන්ම සමාජ සත්කාරක මෙහෙවර අගැයීමට ලක්කිරීම ද සිදු විය.

මහාකරුණා බෞද්ධ සංගමයේ පැවිදි අනුශාසක වශයෙන් කටයුතු කරන්නේ ද උන්වහන්සේය.

මෙම උලෙළ අමතමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ ‍ කළේ, ආචාර්ය කේ. ගුණරතන ස්වාමින් වහන්සේ දශක හතරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව හා ලක්වාසීන් වෙනුවෙන් ද සිදු කරමින් සිටින එම ආගමික ශාසනික මෙන්ම සමාජ සත්කාරක හා සුබසාධන මෙහෙවර අගය කරන බවය. එය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට හැකිවේවා යැයි ජන්ම දින සුබපැතුම් එක්කරමින් මහ කොමසාරිස්වරයා පැවසීය.

මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය ආරක්ෂක ඇමැති හෙංග් චී හව්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ඉන්දියානු මහ කොමසාරිස් ෂිල්පක් අම්බුල්, අමෙරිකා තානාපති ජොනතන් එරික් කප්ලාන් යන මහත්වරු එක්වූහ.

විවිධ ආගමික පූජක උතුමන් ද, සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමය, සිංහල බෞද්ධ සංගමය මෙන්ම ශ්‍රී ලංකාරාමයේ ඉරුදින දහම් පාසල ද මෙම මෙහෙවර අගැයීමට එක්විය.

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් හා බෙර වාදන මෙන්ම දමිළ නර්තනයන්ගෙන් ද සම්ප්‍රදායික සිංගප්පූරු නර්තනාංගයෙන් ද මෙම උලෙළ විචිත්‍රවත් විය. සම්භාවනීය අමුත්තන්, විදේශ දූත මණ්ඩල නිලධාරින්, සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම සිංගප්පූරු හා චීන ජාතිකයන් ද ඇතුළුව පන්සියයකට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT