Home » ඩිජිටල් යුගයේ රොමෑන්තික කතාකාරයා!

ඩිජිටල් යුගයේ රොමෑන්තික කතාකාරයා!

by sachintha
April 23, 2024 1:06 am 0 comment

“ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙක්ට් එකක මාස්ටර්. කොච්චර කතා කළත් ඉවරයක් නෑ. ඇතුවත් බෑ. නැතුවත් බෑ. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි. ඒත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට උන්ට ඇහුම්කන් දෙනකොට, උන් එක්ක රණ්ඩු වෙනකොට එතන මොකද්දෝ තේරුම්ගන්ඩ බැරි දෙයක් තියෙනවා. ඒක අපට පිරිමියෙක් එක්ක කරන්ඩ බැරි ගනුදෙනුවක්.”

ප්‍රබන්ධ කතාවට අදාළ යථාර්ථවාදී රීති හා මූලධර්ම ප්‍රචලිත වන්නේ 1930 ගණන්වල සිටය. ඊට පෙර ප්‍රබන්ධ කතාව සම්බන්ධයෙන් බලපෑම් ඇති කළ සාහිත්‍ය කලා මතවාද දෙකක් තිබේ. එනම්, රොමෑන්තිකවාදය හා ස්වාභාවිකවාදයයි. මෙයින් ද නවකතාවට වැඩි බලපෑම් කර ඇත්තේ රොමෑන්තිකවාදය යි. අද වන විට ලෝක නවකතාව පිළිබඳ නව මතවාද, නව සංවාද හා අලුත් මූලධර්ම ගොඩනැඟී ඇත. ඒවා සම්බන්ධයෙන් බරපතළ සංවාද දක්නට ලැබේ. එහෙත් රොමෑන්තිකවාදය හෝ යථාර්ථවාදය හෝ නවකතා ක්ෂේත්‍ර‍ෙයන් මුළුමනින්ම දුරස් වී නැත.

යථාර්ථවාදය, රොමෑන්තිකවාදය වැනි සාහිත්‍ය කලා න්‍යායන් බිහිවන්නේ ප්‍රංශය, එංගලන්තය වැනි රටවල සාහිත්‍යය මූලික කරගෙනය. එමෙන්ම ඒවා තවම පවතින්නේ ද ප්‍රංශය, එංගලන්තය, අමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් කේන්ද්‍ර කරගෙනය. අමෙරිකාවේ පාඨකයෝ අදත් රොමෑන්තික කතාවලට වැඩි ආකර්ෂණයක් දක්වති. සෑම වසරකම හොඳම රොමෑන්තික නවකතාව තෝරා ත්‍යාග හා සම්මාන ලබාදීම ද අමෙරිකාවේ දී සිදුවෙයි.

2018 දී අමෙරිකන් නවකතා ක්ෂේත්‍රය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වූ ප්‍රබන්ධය වූයේ “ඇන් අමෙරිකන් මැරේජ්” (An American marriage) නම් රොමෑන්තික කතාවය. ආදරය හා පුද්ගලයාගේ සතුට අතර පවත්නා බැඳීම් හා ගැටීම් නිරූපණය කිරීමට එම නවකතාව උත්සාහ දරා තිබිණි. 2023 දී මේ අයුරින් සංවාදයට ලක් වූ රොමෑන්තික අමෙරිකානු නවකතාව වූයේ අන් ෆෙයාරලි කිවුට් (Un fairly cute) නම් කෘතියයි. එය සංවේගජනක කතාවක් ලෙස සැලකේ. රොමෑන්තික නවකතාවල පොදු ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.

1. කතා රසයට මුල්තැන ලබාදීම

2. සරල – සුන්දර හා පරිපූර්ණ කතාවස්තු ගොඩනැඟීම

3. නිරවුල් භාෂාව හා පසුබිම් වර්ණනා.

4. මානව සබඳතා හැඟුම්බර ලෙස නිරපණය කිරීම.

අපූර්වත්වය, විස්මය හා අද්භූත දේවල් මැවී මෙහිලා මේ කතාකාරයෝ වැඩි හපන්කමක් දක්වති. නූතන විචාරකයන් අතින් එය නිර්දය විවේචනයට ලක් වන්නේ වුව පාඨකයා එබඳු නිරූපණවලට ආයත්ත වෙයි. එය කියැවීමෙහි රුචිය වර්ධනය කරයි.

හදිසියේම රොමෑන්තිකවාදය ගැන කතා කරන්නට සිදුවූයේ චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ “ප්‍රේමසූත්‍ර” නවකතාව කියැවීමෙන් පසුවය. බොහෝ සිංහල කතාකරුවන් ප්‍රබන්ධ – කතාවේ ශිල්පීය හරඹ සමඟ පොරබදන සමයක චූලාභය සරල එහෙත් සුන්දර කතා රටාවක් ගොඩනඟා ගෙන තිබේ. මේ රටාව තවදුරටත් මටසිලුටු කරගතහොත් ඔහු හොඳම නවකතාකරුවකු වනු ඇත.

සිංහල සාහිත්‍යය නිරීක්ෂණය කරන කල එහි ජනප්‍රියම අංගය ලෙස සැලකිය හැක්කේ ස්වතන්ත්‍ර නවකතාවය. සිංහල පාඨක සමාජයේ පරිමාව සමඟ සාපේක්ෂ ලෙස සලකා බැලීමේ දී නවකතාවේ අලෙවිය වුව නරක නැත. සාමාන්‍ය‍ෙයන් වසරකට සිංහල ස්වතන්ත්‍ර නවකතා එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් වෙළෙඳපොළට එයි. ඇතුම්විට එය දෙසීය දක්වා වැඩි වන අවස්ථා ද තිබේ. කොරෝනා සමයේ වුව නවකතා පළවීම අඩුවූයේ නැත. මෙය සිංහල නවකතාව සම්බන්ධයෙන් පවත්නා සාධනීය තත්වත්යකි. එහෙත් එහි ගුණාත්මකභාවය ගැන සතුටු විය නොහැකිය. ඒ සාධක කිහිපයක් නිසාය.

1. කතා රසය නොසලකා හැරීම

2. ඒකාකාරී තේමාවන් පසුපස හඹායෑම

3. චරිත අධ්‍යයනයේ දුර්වලතා

4. දුර්වල කතා වස්තු හා හිතලු ලිවීම

5. භාෂාවේ දුර්වලතා හා ශිල්ප හරඹ

සාර්ථක නවකතාවක් නිර්මාණය වන්නේ දීර්ඝ අධ්‍යයනයකින් පසුව හා සැලැකිය යතු සංස්කරණයකින් පසුව යැයි පිළිගත් මතයක් පැවැතිය ද අපේ රචකයන් එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත.

කිසිඳු අධ්‍යයනයකින් තොරව හිතලු ලියන නවකතාකරුවන්ගේ ගණන වැඩිය.

“Hurda” නම් ඉන්දීය නවකතාව ගැන ගිය වසරේ ඇතිවූ සංවාදය දෙස බලනවිට පෙනී යන්නේ එය ඉන්දියාව තුළත් ඉන් පිටතත් සැලකිය යුතු අවධානයකට ලක් වූ බවය. ඉන් කියැවෙන්නේ තරුණියන් තිදෙනෙකුගේ ආදර කතාවක් ගැනය. 2013 ආදරවන්තයන්ගේ දිනය දා ඉන්දියාවේ ගැමි තරුණියෝ තිදෙනෙක් ඔවුනගේ ආදර කතා වමාරති. ඉන්දියාවේ සමාජ ගැටලු මේ ඔස්සේ සාකච්ඡාවට ලක්වෙයි. කර්තෘ අත්වා පණ්ඩිත්ය. විශේෂතා දෙකක් මේ කතාවේ පවතී.

1. කතා රසය අඛණ්ඩව පවත්වාගැනීම

2. සමාජ ගැටලු සංවාදයට ලක් කිරීම

ඉහත සාධක දෙක නවකතා රචනයේ දී ඉතා වැදගත්ය. ඓතිහාසික නවකතාවකින් වුව වත්මන් සමාජ ගැටලු සිහිගැන්විය යුතු බවත් එය ජීවිතයට අර්ථවත් පාඩමක් ඉගැන්විය යුතු බවත් කියනු ලැබේ. චූලාභය හේරත් මේ කරුණු දෙක කෙරෙහි අවබෝධයකින් නවකතා රචනයෙහි යෙදෙන ලේඛකයෙකි. ඔහුගේ රචනා තුළ පවත්නා විශේෂතා කිහිපයක් දැක්විය හැකිය.

1. පරිපූර්ණ කතාවක් ගෙතීමට උත්සුක වෙයි.

2. චරිතවල හා සිදුවීම්වල විශේෂතා මතු කරයි.

3. නිරූපණයේ දී විවෘතභාවයක් අනුගමනය කරයි.

“ප්‍රේම සූත්‍ර” පාඨක ආකර්ෂණය දිනාගත් විශේෂ නවකතාවක් සේ සැලකිය හැකිය. පළමු මුද්‍රණයෙන් මාසයක් ඉක්ම යන්නට පෙර දෙවන මුද්‍රණය නිකුත් වීනේ වුව එය වටහාගත හැකිය. පාඨක ආකර්ෂණයෙන් තොර පොත්වලින් පලක් නැත.

මේ කතාවේ එන ප්‍රධාන චරිත දෙකටම සැඟවුණු අතීතයක් තිබේ. අවසන් ලෙස එම අතීතය හෙළිදරව් කරන්නට දෙදෙනාටම සිදුවෙයි. නිමල් සරසවි ජීවිතය තුළදී සිරගත වූ මිනීමරුවෙකි. පවිත්‍රා ත්‍රස්තවාදී යුද සමයේ අනාථ වූ ගැහැනියකි. එහෙත් ඔවුන්ගේ කොළඹ ජීවිතයේ දී එය රහසක් ලෙස පවතී. කතාව ආරම්භ වන්නේ අද්භූත ආකාරයකටය. මළමිනී ප්‍රවාහනය කරන වෑන් රථයක් තුළ දෙදෙනෙක් යති. රියැදුරා නිමල්ය. මිනියේ අයිතිකාරිය පවිත්‍රාය. මධ්‍යම රාත්‍රි‍ෙය් ගමන පිටත්වෙයි. දෙදෙනාම නිහඬය. ඔවුන්ගේ කතාව පටන්ගන්නේ පැය ගණනක් ගෙවී ගිය පසුය. ඔවුහු මිනිය නිවසට භාරදී ආපසු කොළඹ බලා එති. මේ ගමන නිසා දෙදෙනා අතර සම්බන්ධයක් ගොඩ නැඟෙයි. එහෙත් එය ආදර සම්බන්ධතාවක් නොවේ. පසුකලෙක එය ආදරයක් බවට පෙරැළෙයි. පවිත්‍රා විදේශ ගතවන අතර නිමල් යළිත් බන්ධනාගාර ගත වෙයි. අහඹු සිදුවීම් ගණනාවක් මත කතාව දිග හැරෙයි.

මුළු කතාව පුරාම ආකර්ෂණය, අවදානම, කුතුහලය පවතී. පවිත්‍රාට ප්‍රංශයේ දී දරුවකු ලැබෙන අතර පියා නිමල්ය. මේ කතාව අවසන් වන ආකාරය දකින්නට සියල්ලෝම කැමැත්තෙන් සිටිති. එය කුතුහලය දනවන කතාවකි. බොහෝ සිදුවීම සංවේගජනකය. හැඟුම්බර කතාවක් ලෙස හැඳින්විය හැකිය. ජිවිතය වටහා ගැනීමට අදාළ අමුතු යෙදුම් සමූහයක් ද නවකතාව තුළ දක්නට ලැබේ. ඒවා පිළිබඳ විශ්ලේෂණයක යෙදීම වැදගත්ය.

“ගැහැනු සිත් අහස මෙන් යැයි ඔහු අසා තිබිණ.”

“විටෙක එය සසලය. කළුම කළු අඳුරුය. ගොර බිරම් ගිගිරුම්ය. අකුණු විදුලි අග්නි රේඛාවන්ය. අනෝරා මහවැසිය. සැඩ – පරුෂ හිරු කිරණය.”

(පිටුව – 54)

අපේ පරණ සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය සිහිපත් වෙයි. එය අපූරු නිරූපණයකි.

“ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙක්ට් එකක මාස්ටර්. කොච්චර කතා කළත් ඉවරයක් නෑ. ඇතුවත් බෑ. නැතුවත් බෑ. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි. ඒත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට උන්ට ඇහුම්කන් දෙනකොට, උන් එක්ක රණ්ඩු වෙනකොට එතන මොකද්දෝ තේරුම්ගන්ඩ බැරි දෙයක් තියෙනවා. ඒක අපට පිරිමියෙක් එක්ක කරන්ඩ බැරි ගනුදෙනුවක්.”

(පිටුව < 101)

කතුවරයා මෙබඳු හැඟීම් ප්‍රකාශයට පත්කරන්නේ සමාජ දැනුම නිරීක්ෂණය කිරීමෙන් විය යුතුය. නිමල්ගේ සගයා වූ ජෝති අයියා ගැහැනුන් නිර්වචනය කරන්නේ ඉහත ආකාරයටය. නවකතාකරුවා නිරන්තරයෙන්ම සමාජය නිරීක්ෂණය කළ යුතුය. එම ගුණය චූලාභය ළඟ තිබේ.

ප්‍රේමසූත්‍ර නවකතාවේ නරකම ලක්ෂණය අනවශ්‍ය විස්තර සහිත දීර්ඝ පරිච්ඡේද ඉදිරිපත් කිරීමය. කතාවේ මුල් අර්ථය තුළ එය දකින්නට ලැබේ.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT