Sunday, May 5, 2024
Home » අනුරපුර උතුර ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඇරඹීමට JICA සහාය

අනුරපුර උතුර ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඇරඹීමට JICA සහාය

by sachintha
April 26, 2024 1:03 am 0 comment

පවුල් 50,000කගේ පානීය ජල අවශ්‍යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA)එකඟතාව පළ කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, ණය දීමේ කාල රාමුව දිගු කිරීමට ද එම ආයතනයේ එකඟත්වය පළ කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හැකි ඉක්මණින් ඊට අදාළ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ගැනීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැතිවරයා ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවති අතර, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී යමඩා ටෙට්සුයා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

2016 ආරම්භ කර 2024 ජූනි මාසයේදී වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ මේ ව්‍යාපෘතියට ජපාන යෙන් මිලියන 19,409ක් වැය කිරීමට නියමිතව තිබිණි. පදවිය, හොරොව්පතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් වසම් 119ක පවුල් 50,000කගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කිරීමට මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගොවි විරෝධතා, කොවිඩ් ඇතුළු විවිධ හේතු මත එහි කටයුතු අවසන් කිරීමට තවත් වසර තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ජල සම්පාදන මණ්ඩලය එහිදී කියා සිටියේය. මේ කාල රාමු දිගු කිරීමට ණය දෙන ආයතනයේ අනුමැතිය සේම කැබිනට් අනුමැතිය ද අවශ්‍යයි.

JICA ආයතන ණය දීමේ කාල රාමුව දිගු කිරීමට එකඟත්වය පළ කිරීමත් සමඟ ඊට අදාළ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා ජල සම්පාදන මණ්ඩල නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම අදාළ කාල සීමාව හැකිතාක් කෙටි කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

 

මහින්ද අලුත්ගෙදර සහ අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT