Sunday, May 5, 2024
Home » අාණ්ඩුවකින් ගමට දෙන්න ඕනේ ජීවත්වෙන්න පුළුවන් ක්‍රමවේදයක්

අාණ්ඩුවකින් ගමට දෙන්න ඕනේ ජීවත්වෙන්න පුළුවන් ක්‍රමවේදයක්

-ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ

by sachintha
April 26, 2024 1:14 am 0 comment

“මෙරට දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බාර් වුවමනාද? බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ගොවිතැන බේරාගන්න බෑ අලි ගහනවා. එහෙම තියෙන ගමකට බාර් හයක් දෙන්න යනවා. ඇත්තටම කන්ඩ බොන්ඩ නැතුව දුප්පත්කමෙන් ඉන්න මේ වගේ ගමකට බාර් දෙන්න ආණ්ඩුවට යුතුකමක් තියෙනවද? ගම්වලට දෙන්න ඕනෙ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. වැවක් හදලා වතුර දෙන්න ඕනෙ කාලයක් මේ. මතට තිත තිබුණා. හැබැයි කිසිම වැඩක් වුණේ නෑ.” යනුවෙන් ආදිවාසී නායක, වනස්පති ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ පැවැසුවේය.

ආදිවාසී නායකයා මේ බව පැවැසුවේ පසුගියදා (23) සවස දඹාන ඔහුගේ නිවෙසේ පැවති රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආඳාඋල්පොත, 12 කණුව ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන අවන්හලක අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසලට බලපත්‍රයක් නිකුත් කිරීමට විරෝධය පාමින් රිදීමාලියද්ද භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් සංවිධාන කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

රිදීමාලියද්ද, ආඳාඋල්පොත, 12 කණුව ප්‍රදේශයේ පිහිටි මේ අවන්හලට මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රය නිකුත් කර ඇත. මෙයට ප්‍ර‌දේශවාසීන් සහ සංඝරත්නයේ විරෝධතා නිසා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී. ඩී. එස්. තක්ෂිලා ගුණරත්න මහත්මිය විසින් මේ බලපත්‍රය නිකුත් නොකර සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව කරුණු වාර්තා කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එය නොසලකා මේ අවන්හලට සුරාසල් බලපත්‍රය දෙන ලෙස නියෝග කර ඇත. එම බලපත්‍රය නොදී එය අවලංගු කරන ලෙස ඉල්ලා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති අළුකැටියාවේ සීලරත්න, රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෙරිපැහැ ගුණානන්ද හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේ ද පැවැසීය.

“මේ අලුත් අවුරුද්දේ පළවෙනි වතාවට තමයි මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ. මගේ ගමට අල්ලපු ගම රිදීමාලියද්ද. අපේ දඹාන ගම්මානයටත් වැඩියෙන් දුප්පත් ගම්මානයක් ඒක. සියඹලාණ්ඩුවට පස්සේ දුප්පත්ම ගම රිදීමාලියද්ද. රිදීමාලියද්ද ගමේ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. හේන් ගොවිතැනවත්, වී ‌ගොවිතැනවත් හරියට කරගන්න අමාරුයි. වැසි දියෙන් ගොවිතැන් කරන මිනිස්සු ඉන්නේ. එහෙම අමාරුවෙන් කරන ගොවිතැනත් අලි විනාශ කරනවා. අලි ගහලා මිනිස් ජීවිතත් නැති වෙනවා.

එහෙම තියෙන ගමකට සුරාසල් හයක් ආණ්ඩුවෙන් තෑග්ගක් හැටියට දීලා තියෙනවා කියලා මට ආරංචියි. මම ආණ්ඩුවෙන් අහන්නේ ඇත්තටම මෙහෙම දුප්පත් මිනිස්සු ඉන්න තැනකට දෙන්න ඕනෙ සුරාසල්ද? ”

බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT