Sunday, May 5, 2024
Home » චීනයෙන් ගේන යන්ත්‍ර නිසා නාඋල කම්හල් කර්මාන්තය විනාශමුඛයේ

චීනයෙන් ගේන යන්ත්‍ර නිසා නාඋල කම්හල් කර්මාන්තය විනාශමුඛයේ

by sachintha
April 26, 2024 3:44 am 0 comment

චීනයෙන් රැගෙන එනු ලබන යන්ත්‍ර හේතුවෙන් වසර 25ක් පැරණි නාඋල කම්හල් කර්මාන්තය විනාශ වීමේ අවදානමකට ලක්ව ඇතැයි කම්හල්කරුවෝ කියා සිටිති. වසර ගණනාවක සිට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝවතැන්න වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පාරම්පරික කම්හල් කර්මාන්තයේ නියැළෙන පිරිස් කියා සිටියේ වසර දහයකට පෙර ගොයම් කැපීමට ගන්නා දෑකැති සිය ගම්මානයේ පිරිස් විසින් සාදන ලද බවයි.

මේ වන විට ගෘහ ආශ්‍රිතව භාවිතයට ගන්නා බොහෝ ආයුධ මේ වන විට සෑදීම සිදු නොවන බව ද ඔවුහු කියා සිටියහ. චීනයෙන් ආනයනය කරනු ලබන තණකොළ කපන යන්ත්‍ර, විවිධ පිහි වර්ග, විවිධ මාදිලියේ අත්ට්‍රැක්ටර් වැනි උපකරණ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ සිය දෑතින් නිමවූ කැත්ත, පිහිය, හිරමණ තල ඇතුළු ගොවිතැනට අවශ්‍ය බොහෝ උපකරණ පිටරටින් පැමිණීමත් සමඟ දේශීයව පැවති කම්හල් කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ද බෝවතැන්න වත්තේ කම්හල්කරවෝ කියා සිටියහ.

බෝවතැන්න වත්ත ප්‍රදේශයටම පමණක් ආවේණික වූ පවුල් හතළිහක් පමණ ජීවත්වන්නේ සිය කම්හල් කර්මාන්තයෙනි. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ යකඩ රත්කිරීම සඳහා භාවිත කරන අඟුරු සපයා ගත්තේ යාබද වනාන්තරවල වියළි දර භාවිත කරමින් බවයි. මේ වන විට ඒ සඳහා වනාන්තර නොමැතිකම හා විවිධ අවස්ථාවන්වල දී පනවා ඇති නීතිරීති පවා තමන්ට බාධාවක් වී ඇති බව ද කම්හල්කරුවෝ කියා සිටියහ.

පහසුව සඳහා රටට පැමිණෙන විවිධ යන්ත්‍ර භාවිතය හේතුවෙන් කායික වෙහෙස නොදැක්වීම නිසා රෝගීන් වන පිරිස් දිනෙන් දින වැඩිවන බව කියා සිටි කම්හල්කරුවෝ අවධාරණය කර සිටියේ අතීතයේ දෑතේ සවියෙන් වැඩ කිරීම නිසා අද වන විට දක්නට ලැබෙන බෝ නොවන රෝග රැසකට හේතුව කායිකව වෙහෙස නොවී වැඩ කිරීම බවය.

එනිසා ජාතික වශයෙන් රජයන් විසින් ගනු ලබන තීන්දු තිරණවලදී වඩාත් සැලකිලිමත් විය යුතු මෙන්ම දේශීය කර්මාන්ත කෙරෙහි ද අවධානය යොමු විය යුතු බව ද බෝවතැන්න වත්ත කම්හල්කරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT