Home » අයදුම් කළ රියැදුරු බලපත් සියල්ල අගෝස්තු වන විට නිකුත් කරනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අයදුම් කළ රියැදුරු බලපත් සියල්ල අගෝස්තු වන විට නිකුත් කරනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
April 26, 2024 3:21 am 0 comment

අයදුම් කළ රියැදුරු බලපත් සියල්ල එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය. මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (25) කියා සිටියේය.

ඇමැතිවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය:

“මෝටර් රථ ආඥා පනතට අනුව මෝටර් වාහන තාවකාලික රියැදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කිරීමේ නියෝග ප්‍රකාශයට පත් කරන ලද අංක 2334/39 හා 2023.06.28 වැනිදා ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනය සහ මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සහ ආනුශංගික කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීම මෝටර් වාහන විවිධ නියෝග සංශෝධනය කරමින් අංක 2352/29 හා 2023.10.05 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග පිළිබඳ ගැසට් නිවේදන දෙක මේ සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙරට රාජ්‍ය ආදායමට විශාල මුදලක් එකතු කරනවා. මෙරට ආණ්ඩුවට ආදායම් රැස් කර දීමට රේගු දෙපාර්තමේන්තුවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, සුරාබදු දෙපාර්තමේන්තුවත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවත් දීර්ඝ කාලයක පටන් විශාල දායකත්වයක් දක්වනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම වනුයේ මෙරටට ආනයනය කරන හෝ මෙරට නිෂ්පාදනය කරන සියලු මෝටර් රථ ලියාපදිංචි කිරීමයි. ඉන් පසුව රියැදුරු බලපත්‍ නිකුත් කිරීමයි. මෝටර් වාහන සඳහා අවශ්‍ය නීතිරීති රෙගුලාසි සම්පාදනයේ බලය ලත් ආයතනයත් මෙයයි.

“රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම, වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම යනාදි කාරණා සඳහා විශාල මුදලක් රාජ්‍ය සේවාව සඳහා වැය කරනවා. ට්‍රිලියන 13ක් මේ සඳහා වැය වනවා. ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය තවම අවසන් නැහැ. විශේෂ පනතක් ගෙනැවිත් කවුරුන් ආණ්ඩු කළත් ඉදිරි කාල පරිච්ඡේදයේදී ගත් ණය පියවන ආකාරයේ නීතියක් සම්මත කළ යුතුයි. එවැනි නිතියක් 2003දී සම්මත කළා. ඒ මූල්‍ය වගකීම් පනත. ඉදිරි වසර 5-6 තුළදී ගත් ණයවලින් ගෙවෙනුයේ 37%ක ප්‍රමාණයක් පමණයි. ගෙවන්න තිබෙන විදේශ ණයවලින් 51%ක් ගෙවන්න වන්නේ අවුරුදු 6යි 20 යි අතර. දැනට තිබෙන ක්‍රමයට මේ ණය ගෙවනවා නම් ඩොලර් බිලියන 6ක් විතර එළියට යන්න ඕනෑ. ධරණීය විදියට ණය ගෙවීම සඳහා දැන් සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව වර්ෂයකට එළියට යෑමට සිදු වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 3යි. ඒ අනුව කළොත් රට ඉදිරියට ගෙන යා හැකියි. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත නැතිව කීවොත් ජනතාව රැවටීම විතරක් කරනවා.

“වසර 2032 වන විට නොපියවූ ණය පියවා දළ දේශීය නිෂ්පා

දනය 95% දක්වා අඩු කිරීම, කිසිම ආණ්ඩුවක් යටතේ විදේශ සේවා ණය ක්‍රමය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 4.5%කට වඩා වැඩි නොවීම, ආණ්ඩුවේ මූල්‍ය අවශ්‍යතා ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% නොඉක්මවීම යන කරුණු තුන තුළ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුතුයි. ඒවා කඩා ඉදිරියට යා නොහැකියි. ආදායම උපදවන ක්‍රමවේදයන් වැඩි කරගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ රියැදුරු බලපත්‍ නිකුත් කිරීම හමුදාවට භාර දුන්නා. හමුදාවට ගියාම අඩු වියදමෙන් කළ හැකියි කියා හිතුවා. ඒත් එය ගැටලුවක් වුණා. එක් පළාතක ලියාපදිංචි වූ වාහනයක් තවත් පළාතකට ගියාම වෙනත් අංක තහඩුවක් ගත යුතුයි. එහෙත් එහෙම ගන්නේ නැහැ. ඩිජිටල්කරණය යටතේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආදායම දෙගුණයක් කළ හැකියි. ඊ මෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරනවා. මේ ආයතනවල සිදු වන හොරකම් සහ වංචා දූෂණ නැති වන්නේ ඩිජිටල්කරණය කළොත් පමණයි. එහෙත් ජාවාරම්කරුවන් සහ ඇතැම් නිලධාරීන් ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT