ලෝකයේ ලොකුම මුඩුක්කු පෙළ ද සංචාරක ආකර්ෂණයක් බැවින්, දිරාගිය රටකට වුවද සංචාරකයන් ඇදෙනවා ඇත. පාකිස්තානයේ ඔරන්ජි මුඩුක්කුවේ ගෙවල් ලක්ෂයක් ඇත. එය පිහිටා ඇත්තේ කරච්චියේය. ලෝකයේ දෙවන විශාලම මුඩුක්කුව ඇත්තේ මැක්සිකෝවේය. ඉන්දියාවේ මුම්බායි හි ඇති ධාරාවි මුඩුක්කුව ‘නම්බර් ත්‍රී’ය. එහි පරිමාව අක්කර පන්සිය විස්සකි. ජනගහනය මිලියන එකකි.
‘මුඩුක්කු සංචාර’ යනු ලෝක සංචාරක විෂයට එකතු වූ නවීන සංකල්පයකි. දරිද්‍රතාවයේ සැබෑ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සඳහා සංචාරකයෝ මෙසේ චූල ජනාවාස කරා සේන්දු වෙත්. ධාරාවි මුඩුක්කු වෙත සංචාරකයන් රැගෙන යන ආයතනයක් සිය වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ, ‘ඉන්දියාවේ ජනප්‍රියම සංචාරක අත්දැකීම’ එය බවය. ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය උපුටා දක්වමින් ‘ටජ් මහලටත් වඩා ධාරාවි ජනප්‍රිය’ බව ඔවුහු කියති. ප්‍රේමය පරදා දුප්පත්කම සංචාරක ආකර්ෂණයක් වන්නේ කොලනියන් චින්තනය නිසාය. එදා සිටම යුරෝපීයෝ සිතුවෝ, තමන් ආදිපාදවරු බවත් ආසියාව අප්‍රිකාව සහ ලතින් අෙමරිකානු කලාපයේ සිටින්නේ, සිය වහල්ලුන් බවත්ය. මේ නිසා එම රටවල දුප්පත්කම නැරඹීම ද එක්තරා ආකාරයක ත්‍රාසජනක සංචාරක විෂයක් වී ඇත. එඩ්මන්ඩ් හිලරි 1953 මැයි 29දා එවරස්ට් තරණය කළේය. ඒ සමඟ ඇඩ්වෙන්චර් ටුවරිසම් දෙසට ලෝකය නැමී යන්නට පටන් ගත්තේය.
1970 දශකයේ ඉතියෝපියාවේ රැෆ්ටින් චාරිකා ආරම්භ විය. 1980 සමයේ නයිල් සංචාර හා කඳු තරණය සඳහා සංචාරකයෝ යොමු වූහ. මේ ආකාරයට වර්ධනය වූ ත්‍රාසජනක සංචාර අතරේ, මුඩුක්කු සංචාර ද යම් ත්‍රාසජනක අත්දැකීමක් ලෙස මුලදීද පසුව දුප්පත්කම රසවිඳීමේ ගුළාවක් ලෙස ද සංචාරක මඟ පෙන්වන පොතට එකතු විය. කොවිඩ් වසංගතයෙන් පසුව බංකොලොත් වූ ආර්ථිකය මත්තේ අප දිගින් දිගටම සිටියේ නම්, ගෝල්ෆේස් ආ ‘අරගලකරුවන්ගේ’ වසංගතය සමඟ කාලය ගත කළේ නම්, මේ රටට සංචාරකයෙක් එනු ඇත්තේ ධාරාවි මුඩුක්කුව බලන්නට එනවා සේය. රටේ ආර්ථිකය හිටි වන නැවතී, පෝලිම් පමණක් එකම වින්දනය වූ හෙයින්, ලෝකයේ දිගම ගෑස් පෝලිම, තෙල් පෝලිම ආදී සංචාරක ආකර්ෂණ ගණනාවක් අපට ද හිමි කර ගැනීමේ අවස්ථාව තිබිණි. ඒවා සුම්මා වී දැන් ආර්ථිකය පිබිද එන්නේය. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින්, බංකොලොත්භාවයෙන් මිදීම සඳහා දැන් රට සැරසෙන්නේය. දින කිහිපයකට පෙර උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත විය.
ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ, ජල හිඟය සමනය සඳහා උමා ඔයේ ඇති ජලය ඝන මීටර් මිලියන 145ක් වසරකට කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම මෙහි මුඛ්‍ය කටයුත්තකි. මොනරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500කට මේ නිසා වාරි ජලය සැපයෙන්නේය. බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා ජලය ඝන මීටර් මිලියන 39ක් උමා ඔයෙන් ලැබෙන්නේය. ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290ක නව විදුලි ධාරිතාවක් එකතු වන්නේය.
මේ තරමට රටක් ලෙස කෙටි කාලයකින් අප හිස ඔසවන ලද්දේ, සංවර්ධන සැලසුම සඳහා ආණ්ඩුව දරන ලද මහන්සිය නිසාය. බංකොලොත්භාවය පතුලේ තමන්ගේ දේශපාලන නිධානය සැඟව ඇති බව දැනගත් සමහරු මෙසේ රටේ ආර්ථිකය වර්ධනය වන කල්හි, පොළොවේ පස් කනවා ඇත.
පෙරේදා සන්ධ්‍යාවේ ගාලුමුවදොර ඉදිරිපිට තවත් සුපිරි හෝටලයක් විවෘත විය. රත්නදීප යනු එම හෝටලය සඳහා ලබා දී ඇති නමය. ඉන්දීය අයි.ටී.සී. සමාගමේ ආයෝජනයක් ලෙස ඉදි කරන ලද මෙම හෝටලය සංචාරක ක්ෂේත්රය සඳහා අපට මහඟු පිටිවහලක් වන්නේය.
දැන් මේ රටට එන සංචාරකයා සඳහා ස්තර ගණනාවක හෝටල් සූදානම්ය.
ආර්ථිකය යළි නැඟී සිටිනවා කියන්නේ මෙබඳු කටයුතු සඳහාය. ගාලුමුවෙදොර අසල ඇති යුද හමුදා කඳවුර ඉවත් කර එය බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන යනවා කියූ සැණින්, සමහරු ඒ ගැන කළ අසත්‍ය ප්‍රකාශ, කන්දක් බවට පත් කළේ නම්, ෂැංග්‍රි-ලා හෝටලය සහ අයි.ටී.සී. රත්නදීප හෝටලය එක මත එක තැබුවාට වඩා එම බොරු කන්ද විශාල වනු ඇත. ඒ මොහොතේ බේගල් දෙසන ලද්දේ, උමා ඔයට ‘හිලේ’ කතාව කියූ ලෙසය.
කොවිඩ් ආවේ නැති වුවද, රට බංකොලොත් නොවුණේ වුවද, මේ බොරු කන්ද පල දැරුවේ නම්, තව වසරක් දෙකක් ඇතුළත මේ රට ධාරාවි මුඩුක්කුවක් වන්නේය. සංවර්ධනය සඳහා එරෙහිව යෑමේ ගමන එතරම්ම භයානකය.
ගාලුමුවදොර අසල අක්කර හයකට ආසන්න වපසරියක ඉදි වූ අයි.ටී.සී. රත්නදීප හෝටල් සංකීර්ණයේ උසම ගොඩනැඟිල්ල තට්ටු 48කින් සමන්විතය. එය අධි සුඛෝපභෝගී කාමර 352කින් සමන්විතය. ටුවින් ටවර්ස් මාදිලිය දරන එම ගොඩනැඟිලි ද්විත්වය යා වන්නේ පාලමකිනි. මීටර් 55ක දිගකින් යුත් එම අහස් පාලම දකුණු ආසියාවේ ඇති එකම අහස් පාලමය. එය නැරඹුම් මැදිරියක් පමණක් නොවේ. අතිසුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකකින් සමන්විත වූ වින්දනීය ස්ථානයකි. ඉන්දියන් සාගරය බලමින්, අහසේ ගඟේ දියඹ මත්තේ පිහිනනවා වන් හැඟීමක් එම තටාකය, එහි සිටින්නා වෙත ජනිත කරන්නේය. ආහාරපාන ගැනීම සඳහා එහි ‘අහස’ ස්ථානයක් ද වේ.
රටක් නැඟී සිටින විට එහෙව් ව්‍යාපෘති ඇතිවිය යුත්තේය. මේ රටට පැමිණෙන සංචාරකයා කුල්මත් කළ හැකි ඔය වැනි පහසුකම් අප දැන් නිමවා ඇත්තේ බැවින්, සංචාරක ආදායම තව තවත් සරුසාර වනවා ඇත. එහෙම රටට ඩොලර් එන විට මේ රටේ ජන ජීවිතය යළි පිබිදෙනවා ඇත. දැන් එළඹ ඇත්තේ නැඟී සිටින කාලය ය. මේ ගමන ආපසු හරවන විළිරුදාව කිහිප දෙනෙක්ට ඇත්තේ බැවින් උපන් ගෙයිම ඒවා වළ දමා අවසන් කිරීම ජාතිය හමුවේ අද ඇති කාර්යය ය.