රෝහණ විජේවීර ජනාධිපති සටනට | දිනමිණ

රෝහණ විජේවීර ජනාධිපති සටනට

“ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහෝදරයා යැයි ප්‍රකාශයට පත් කරලා වැඩි දවසක් යන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කරන බව ප්‍රසිද්ධ කෙරුවා. එහෙම වුණේ ඒ වෙනකොට සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහිමි කොට තිබුණ නිසා. නීතිඥ රත්නායක සහෝදරයාගේ නිවසේ දී අප මුණ ගැසුණ අවස්ථාවේ දී කතා කර ගත් විදිහට කොබ්බෑකඩුව මහතාගෙන් අපට පණිවුඩයක් ලැබේ යැයි බලාපොරොත්තුව සිටියත් එවැනි පණිවුඩයක් ලැබුණේ නැහැ. එහෙම වුණත් ඒ සාකච්ඡාවේ දී අපිට කොබ්බෑකඩුව මහතා නිහතමානී පුද්ගලයෙක් බව හැඟී ගියා. මේ වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව බෙ දී ගොස් තිබුණු නිසා ඔහු අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට ඇති කියලා අපි කල්පනා කළා.

“මෙවැනි තත්ත්වයක් මතු වුණොත් නිර්පාක්‍ෂික පොදු අපේක්ෂකයෙක් පිළිබඳ අදහස අතහැර දමා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට තරග කළ යුතු බව දේශපාලන මණ්ඩලය කලින්ම තීරණය කර තිබුණා. අපේක්ෂකයකු පිළිබඳ ප්‍රශ්නයක් දේශපාලන මණ්ඩලය හමුවේ අපට පැන නඟියි කියලා මම කිසිසේත්ම කල්පනා කර තිබුණේ නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණේ දෑවැන්ත ප්‍රචාරක රැල්ල නිසා පක්ෂයේ ප්‍රධාන කථිකයා වශයෙනුත් පක්ෂයේ නිර්මාතෘවරයා සහ නායකයා වශයෙනුත් රෝහණ විජේවීර සහෝදරයා රටේ හැම කෙනෙක්ම පාහේ දැන සිටි නිසා ඔහු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට අප සියලු දෙනාම බලාපොරොත්තුවයි හිටියේ.

“1982 සැප්තැම්බර්වල නාමයෝජනා භාර දෙන්නට පෙර තිබුණ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වන්නට ටික වෙලාවකට කලින් රෝහණ සහෝදරයා මට පැත්තකට කතා කරලා කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මගේ නම යෝජනා කරනවා, ඒකට විරුද්ධ වෙන්න එපා කියලා. ඒ යෝජනාව පක්ෂයත්, රෝහණ සහෝදරයාත් මා ගැන තබා තිබුණ විශ්වාසය තහවුරු කරන්නක් වුණත් මම එවැනි යෝජනාවක් කිසිසේත්ම බලාපොරොත්තුව හිටියේ නැහැ. ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට සිටින පක්ෂයේ වඩාත්ම උචිත, කවුරුත් දන්නා සහ කවුරුත් බලාපොරොත්තු වන පුද්ගලයා ඔහු බව මම ඒ අවස්ථාවෙදීම ඔහුට පැහැදිලි කළා . ඔහුගේ යෝජනාවට කිසිසේත්ම මට එකඟ විය නොහැකි බව මම ඔහුට පැහැදිලි කළා.

“කලින් කිව්ව අන්දමටම මාව ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බව දේශපාලන මණ්ඩල රැස්වීමේ දී ඔහු යෝජනා කර සිටියා . ඒ යෝජනාව එක හෙළාම ප්‍රතික්ෂේප කරන ගමන් මම ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් රෝහණ සහෝදරයාගේ නම පිළි ගන්නා ලෙස යෝජනා කළා. පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම අප දෙදෙනාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි මහනුවර පක්ෂ සම්මේලනයක් පවත්වල මේ පිළිබඳව අවසාන තීරණයක් ගන්න දේශපාලන මණ්ඩලය තීරණය කරන්නේ.සම්මේලනයේ දී මගේ නම යෝජනා කරලා සම්මත වුණොත් මම ඒ තත්ත්වය පිළිගනියි කියලාරෝහණ සහෝදරයා සමහර වෙලාවට කල්පනා කරන්න ඇති.

“පක්ෂ සම්මේලනයෙදී රෝහණ සහෝදරයා පැවතුන දේශපාලන වාතාවරණය ගැන පැහැදිලි කිරීමෙන් පස්සෙ මගේ නම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරල මා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව දැඩි ලෙසම කිව්වා. සහෝදරයෙක් ඒ යෝජනාව ස්ථිර කළා. ඒ සමඟම මම නැගිටලා ඒ යෝජනාවට එකඟ නොවන්නේ ඇයි යන්න පැහැදිලි කරලා, පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රෝහණ සහෝදරයාගේ නම යෝජනා කළා. ඒ යෝජනාව අවසන් කරන්නටත් ඉස්සර වෙලා සම්මේලනයට සහභාගි වෙලා හිටපු සහෝදර, සහෝදරියෝ සියලු දෙනාම වාගේ නැගිටල අත්පොළසන් දීලා ජය ඝෝෂා කරලා මගේ යෝජනාව පිළිගත්තා. මෙයින් හොඳින්ම පෙනුණේ පක්ෂය තුළ පැවැති සැබෑ තත්ත්වය, පක්ෂ සාමාජිකත්වයේ කැමැත්ත සහ තීරණය. ඒ වුණාට රෝහණ සහෝදරයා මේ ගැන ඒ තරම් සතුටකින් හිටියෙ නැහැ. කොහොම වුණත් සම්මේලනයෙ අවසාන රෝහණ සහෝදරයව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්න තීරණය වුණේ.

“අන්තිමට ජනාධිපතිවරණ අපේක්ෂකයන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාත්, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් ජී. ජී. පොන්නම්බලම් මහතාත්, ලංකා සම සමාජ පක්‍ෂයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාත්, නව ලංකා සම සමාජ පක්‍ෂයෙන් වාසුදේව නානායක්කාර සහෝදරයාත්, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර සහෝදරයාත් ඉදිරිපත් වුණා. තව ස්වාධීන අපේක්‍ෂකයෝ දෙන්නෙකුත් නාමයෝජනා දුන් නමුත් ඒවා ප්‍රතික්‍ෂේප කෙරුණා.

“අපි රට පුරාම රැස්වීම් පවත්වල ඇයි ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය දිය යුත්තේ ඇයි කියලා ජනතාවට කරුණු පැහැදිලි කළා.

“මට මතකයි යාපනය නගරයේ බස් නැවතුම් පොළ අසල පවත්වපු රැස්වීමක කතා කරමින් ඉන්දෙද් දී ඒ කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ වරධරාජා පෙරුමාල් සහෝදරයා ඇවිල්ලා ඇයි ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවලට තරග කරන්නේ ලතින් ඇමෙරිකාව පුරාම ෆැරබුන්ඩෝ මාටි විමුක්ති පෙරමුණ වගේ ව්‍යාපාර රාජ්‍ය බලය අල්ල ගන්න සන්නද්ධ අරගල කරද් දී කියලා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළා.

“අපි පවතින සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමයට විරුද්ධව සටන් කරනවා, ඒ පණිවුඩය ජනතාව අතරට ගෙන යන්න අපි මැතිවරණවල දී කටයුතු කරනවා. ලංකාවෙ තවම හමුදා ආඥාදායකත්වයක් පිහිටුවලා නැහැ, ඒ නිසා අපට සාමකාමී විදියට අපේ පණිවුඩය සමාජයට ගෙන යන්න තවමත් පුළුවන් කියලා මම පැහැදිලි කළා. ඒ වගේම උතුරේ තරුණයන්ගේ තරුණියන්ගේ ප්‍රශ්නත් අපි සිංහල ජනයා අතරට ඒ අන්දමටම ගෙන යනවා කිව්වා. ඇමෙරිකාව සී අයි ඒ සංවිධානයේ මැදිහත් වීමෙන් ලතින් ඇමෙරිකාව පුරාම හමුදා ආඥාදායකත්වයන් පිහිටුවා තිබෙන නිසා ඒ රටවල ප්‍රගතිශීලී ව්‍යාපාරවලට ඔවුන්ගේ පණිවුඩය සමාජයට සාමකාමීව ගෙන යන්න තිබෙන මාවත් අවුරා දමලා තිබෙන්නේ. ඒ නිසා ඒ ව්‍යාපාරවලට ඔවුන්ගේ පණිවුඩය සමාජයට ගෙන යන්න සන්නද්ධ අරගලවල නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකයි අපත් ඔවුනුත් අතර පවතින වෙනස කියලා, මම පිළිතුරු දුන්නම රැස්වීමේ හිටපු සමහර සෙනඟ පෙරුමාල් සහෝදරයාට හූ කිව්වා. ඔහුට රැස්වීමෙන් පිටවෙල යන්න සිද්ධ වුණා.

“හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙලා හිටියාට ඔහුට පක්ෂයෙන්වත්, බණ්ඩාරනායක මැතිනියගෙන්වත් සහයෝගයක් නොලැබෙන බව හොඳින් පෙනෙන්න තිබ්බා.මෛත්‍රීපාල සේනානායක සහ අනුර බණ්ඩාරනායක වැනි මහත්වරුන්ගේ වැඩ කටයුතු කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක අන්දමටයි සිදු කෙරුණේ. ජනාධිපතිවරණයේ දී පැහැදිලිවම කොබ්බෑකඩුව මහතාගේ ඡන්ද ව්‍යාපාරයෙ බර ඇද්දේ විජය කුමාරතුංග සහෝදරයා. පැවතුණ අර්බුද නිසා විජය ඉස්සරහට එනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයන් බොහොම දෙනෙක් කැමති වුණේ නැහැ. ඒ වගේම ජේ. ආර්. ජයවර්ධන මහතාත්, එක්සත් ජාතික පක්ෂයත් හිටියෙ විජය ඉස්සරහට එනවාට විරුද්ධව. මේ නිසා තමයි ජනාධිපතිවරණය අවසාන වුණු වහාම වාගේ ජේ ආර් ජයවර්ධන මහත්තයා නක්‌සලයිට්‌ කුමන්ත්‍රණයක් අටවල විජය ඒකට පටලවල රිමාන්ඩ් බාරයේ තිබ්බේ.

“ජනාධිපතිවරණ දේශපාලන පොරපිටියේ තිබුණ මේ වාතාවරණය නිසාත් රැස්වීම්වලට සහභාගි වුණා කියලා කල්පනා කළ මහා ජනකාය නිසාත් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයෝ ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳව නොයෙක් ආකාරයේ අධි තක්සේරුවලට ඇවිල්ල තිබුණා. උදාහරණ හැටියට ඒ වෙන කොට පක්ෂයේ වගකීම්වලින් ස්වේච්ඡාවෙන් හරි එහෙම නැතිව හරි නිදහස් වෙමින් සිටිය දයා වන්නිආරච්චි සහෝදරයා නිශ්චිත ලෙසම රෝහණ සහෝදරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවාය කියා කල්පනා කර තිබුණා. ඒ අනුව ඔහු කටයුතු කළ මාතර හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නට පුද්ගලයන්ගෙන් බොහෝ ලෙස මුදල් ණයට අර ගත් බව ඔහුම වාර්තා කළා. ඊට පෙරත් වන්නි සහෝදරයාගේ අරපිරිමැසුම් දායක නොවුණ ආකාරයේ පෞද්ගලික ජීවන රටාව පිළිබඳ ප්‍රශ්න දේශපාලන කමිටුව තුළ පැන නැගිල තිබුණා. ඒ අනුව පක්ෂ වගකීම්වලින් නිදහස් වෙලා නාරාහේන්පිට පදිංචිව සිටි නීතිඥ සහෝදරයකු වූ චාල්ස් විතාන ළඟ ඔහු රැකියාවක නිරතවයි හිටියේ. ඊට කලින් මෙවැනි ආකාරයේ නොවුණත් මුදල් පිළිබඳව පක්ෂය සමඟ පැන නැඟුණු ආරවුලක් නිසා ඉහළ වගකීම් නො පවරා හිටියේ සෝමවංශ අමරසිංහ සහෝදරයා සම්බන්ධයෙන් විතරයි.”

සිසිර යාපා

හෙට - ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව සිදු වූ දේ....-

නව අදහස දක්වන්න