උත්සව දීමනා අපටත් දෙන්න | දිනමිණ

උත්සව දීමනා අපටත් දෙන්න

ජනපතිතුමනි, දැන් රාජ්‍ය සේවකයාත් විශ්‍රාමිකයාත් දැඩි ආර්ථික අහේනියකින් සිටිනා බව ඔබතුමා නොදන්නවා නොවේ. මොවුන්ගේ ඇඟට දැනෙන ආර්ථික වාසියක් මෙතෙක් මොවුනට ලබාදීමට මෙය ස්වර්ණමය අවස්ථාවක් වන බැවින් ළඟ එන නත්තල් උත්සවය ඇතුළු වෙනත් අනුමත උත්සව සඳහා දෙනු ලබන රුපියල් ‍දහදාහේ උත්සව අත්තිකාරම් දීමනාව දැනට පවතින ජීවන රටාව අනුව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින් මෙම උත්සව දීමනාව රුපියල් විසිදහස දක්වා වැඩිකර එම මුදල මාස 11 කින් සුළු පොලියක් සමඟ අයකර ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එයින් රජයට වාසියක් මිස අවාසියක් නොවන බව දන්වා සිටිමි.

ඒ සමඟම සියලුම ආණ්ඩු අවලංගු කාසියක් ලෙස සලකා හමස් පෙට්ටියට යවා ඇති විශ්‍රාමිකයන් ද මේ වනවිට දැඩි ආර්ථික අමාරුකම් මැද ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින හෙයින් විශ්‍රාමිකයින්ටද මෙම උත්සව අත්තිකාරම් දීමනාව බැංකුවට පිළිගත හැකි සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ පවුලේ සාමාජිකයින් දෙදෙනකුගේ ඇප මත ලබාදීමට හැකිනම් එය මා හැඟි පුණ්‍යකර්මයක් ලෙස මම මතක් කර සිටිමි. විශ්‍රාමිකයින් යනු ලෙඩ ඇ‍ඳේ වැතිර මරුවාට අතවනමින් සිටින පිරිසක් ලෙස සෑම රජයක්ම හංවඩු ගසා සිටින හෙයින් වත්මන් රජයෙන් මෙම සහනය දී විශ්‍රාමිකයාගේ ඡන්දය දිනාගැනීමට මෙය ආයුධයක් කරගන්නා මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ බිඳ වැටුන නව විශ්‍රාම වැටුප ගැනද ඔබතුමාගේ අවධානය යොමුකරවනු කැමැත්තෙමි. ඔබතුමාගේ දස අවුරුදු පාලන සමය තුළ එදා රණවිරුවන්ට දුන් සිත්ගන්නා පොරොන්දුවක් වූයේ සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා දැනට ලබන 70% විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% දක්වා ඉහළ නංවන බවකි. කඩවුන පොරොන්දුවක් වූ මෙය දැන්වත් ඉටුකරදීමට ක්‍රියා කරන්නේ නම් එය රණවිරුවන්ට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

කාලාන්තරයක් තිස්සේ පුවත්පත් හරහා නොනවතින සටනක යෙදුන මා අවසානයේදී අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ අතිගරු ජනාධිපතිතුමාට කළ අභියාචනය මල්ඵල ගැන්වී ඇතත් මේ ආණ්ඩු පෙරළිය එයට හරස් වේදැයි මට ඇත්තේ සැකයකි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කැබිනට් අනුමැතිය ලැබ මුදල් ඇමැතිතුමා විසින් මේ සඳහා නව නීති රීති සකස්කර ගැසට් පත්‍රය යැවීමට නීති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති හෙයින් මෙය කුණු කූඩයට නොදැමීමට වගබලා ගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.

දොඩන්දූවේ දයා රූපසිරි
(විශ්‍රාමික)
ශ්‍රී ලංකා පාබල හමුදාව

නව අදහස දක්වන්න