Saturday, April 27, 2024
Home » අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර ලබන මාසයේ ඇරඹෙයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර ලබන මාසයේ ඇරඹෙයි

by chanaka
March 28, 2024 1:46 pm 0 comment

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බව ද ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරු ස්ථාන මාරු සිදුකිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලන තීන්දු තීරණ ගැනීමට මෙම වර්ගීකරණය අනුව වඩාත් පහසු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මේ සියලු‍ උත්සාහයන් තුළින් අපේක්ෂා කරන්නේ කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කරමින් එක් පොදු ගමන් මගකට යොමු කිරීම බවද අවධාරණය කළේය. එමෙන්ම පාසල් සිසුන්ට පෝෂදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් 1-5ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ආහාර වේලක් පාසලේදී ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වත්මන් සමාජ අර්බුද සහ සමාජ මාධ්‍ය මූලිකව සිදුවන යම් යම් බලපෑම් හමුවේ දරුවන් සම්බන්ධයෙන් පාසල තුළ වැඩි වගකීම් දැරීමට ගුරුවරුන්ට සිදුවන බවත්, එබැවින් ඉගැන්වීමට අමතරව දරුවන් සම්බන්ධයෙන් වගකීම්සහගතව කටයුතු කිරීමට සියලු‍ ගුරුවරුන්ට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙවර ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද ඩිප්ලෝමාධාරින් 322 කට ගුරු පත්වීම් ලබා දෙන ලද අතර, මෙම ඩිප්ලෝමාධාරින් අවසන් විභාගයේ දී ලැබූ කුසලතා අනු පිළිවෙළ සහ සේවා අවශ්‍යතාව පදනම් කරගනිමින් ජාතික සහ පළාත් පාසල් වෙත ඔවුන් ස්ථානගත කර ඇති අතර ජාතික පාසල් සඳහා බඳවා ගනු ලැබූ ඩිප්ලෝමාධාරින් 303ක් සඳහා මෙහිදී පත්වීම් පිරිනැමිණි.සෙසු ඩිප්ලෝමාධාරීන් පළාත් මට්ටමින් පාසල් සඳහා බදවා ගැනීමට කටයුතු කරනු ඇත.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT