Saturday, April 27, 2024
Home » ගැහැණු ළමයින්ගේ කැමැත්තේ වයස අඩු කිරීම ගැන අධීක්ෂණ කාරක සභාවේ විරුද්ධත්වය

ගැහැණු ළමයින්ගේ කැමැත්තේ වයස අඩු කිරීම ගැන අධීක්ෂණ කාරක සභාවේ විරුද්ධත්වය

by chanaka
March 28, 2024 4:48 pm 0 comment

දණ්ඩ නීති සංග්‍රහයේ “ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්”, ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීම සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සදහා දඬුවම් අවම කිරීම සදහා වන සංශෝධනවලට ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විරුද්ධත්වය පළවෙයි.

 ළමා, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2024.03.20 බදාදා දින පාර්ලිමේන්තුවේදී  තලතා අතුකෝරල මහත්මියගේ සභාපතීත්වයෙන් රැස්විණි. 2024.03.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (19 වැනි පරිච්ඡේදයේ 363 සහ 364 වගන්ති) සංශෝධන පනත් කෙටුම්පතට අදාළ වැදගත් කරුණු මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිද්ධීන්වලදී ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අඩු කිරීමට සහ දඬුවම් අවම කිරීමට අදහස් කරන ‘‘ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්’’ සම්බන්ධයෙන් අදාළ වන 364 වගන්තියේ යෝජිත සංශෝධනයක් පනත් කෙටුම්පතට ඇතුළත් වේ. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සඳහා යෝජිත ලිහිල් කරන ලද දණ්ඩනය මගින් වැඩිහිටි පිරිමින්ට අවුරුදු 22 දක්වා අත්හිටවූ සිරදඬුවම් ලබාදීමට සහ ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

වයස අවුරුදු දාහතරක තරුණ ගැහැණු ළමයින් සහ වැඩිහිටි පිරිමි සහ අතර පවතින බල අසමතුලිතතාවය, බාලවයස්කරුවන්ට ඔවුන්ගේ තීරණවල ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරිණතභාවයක් නොමැති බව සලකනු ලබන අතර එමඟින් නීතිමය ආරක්ෂාව අඩාල වීම පිළිබඳව අවධානය යොමු විය. එසේම බාලවයස්කරුවන් ලිංගික සූරාකෑම සහ අපයෝජනයන්ට ලක්වීම, කායික, චිත්තවේගීය සහ මානසික ගැටලු, විශේෂයෙන් නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, පාසල් හැර යාම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීම යනාදී කරුණු හේතුවෙන් මෙම සංශෝධනවලට කාරක සභාවේ විරෝධය පළ විය.

තවද, පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට කමිටුව තීරණය කළේය.

  1. දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය ක්‍රියාත්මක කළ යුත්තේ වයස අවුරුදු 18 හෝ ඊට අඩු වැරදිකරුවන් සම්බන්ධයෙන් පමණි – එනම් වයස අවුරුදු 18 ට වැඩි වැරදිකරුවන්ට අත්හිටවූ සිරදඬුවම් හෝ වසර 10 ට අඩු අවම සිර දඬුවමක් ලබා නොදීම

 

  1. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කැමැත්ත පළ කිරීමේ වයස නොවෙනස්ව තැබිය යුතුය – එනම් අවුරුදු 16 කි.

 

  1. ‘කැමැත්ත’ නිර්වචනය කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සැපයීම

 

  1. පිරිමි ළමුන් දූෂණය කිරීමේ වරද අපරාධයක් බවට පත් කෙරෙන වෙනම වගන්තියක් හඳුන්වා දීම

 

  1. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කරන්නේ නම් (363 සහ 364 වගන්තිය – 19 පරිච්ඡේදය) සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙතින් අදහස් ලබා ගැනීම

තවද, පාසල්වල ලිංගිකත්ව හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව කමිටුව අවධානය යොමු කළ අතර පවුල් සැලසුම් වැනි ආරක්ෂණ ක්‍රම පිළිබඳ නිසි අවබෝධයක් පාසල් දරුවන් අතර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් මේ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

කාරක සභාවේ සාමාජිකයින් වන රෝහිණී කුමාරි විජේරත්න, හරිනි අමරසූරිය සහ චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. එසේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA),  යන ආයතන නියෝජිතයෝ ද ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයින්, සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් සහ තරුණ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT