Saturday, April 27, 2024
Home » පිටරට හාල්වලට අය කළ බද්ද අඩු කිරීමෙන් ගොවියාට කිසිම හානියක් නෑ

පිටරට හාල්වලට අය කළ බද්ද අඩු කිරීමෙන් ගොවියාට කිසිම හානියක් නෑ

වරායේ සිර වී ඇති හාල් තොගය නිදහස් කර ගැනීමට සතියක සහනයක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

පිටරටින් සහල් ගෙන්වීමේදී කිලෝග්‍රෑමයක් සඳහා අය කළ රුපියල් 65.00ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙරේදා (27) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලක් දක්වා අඩු කිරීම හේතු කොටගෙන මෙරට ගොවීන්ට කිසිදු හානියක් සිදුවන්නේ නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ආනයනික සහල් සඳහා මෙන්ම බී ලූනු (රෝස ලූනු) සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට කටයුතු කළ ද ඒ හේතුවෙන් වී ගොවීන්ට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා පැවසීය.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය නතර කිරීම නිසා ඒවායේ මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ලොකු ලූනුවලට වඩාත්ම සුදුසු ආදේශකයක් වන රෝස ලූනු සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 80ක බද්ද ඒ අනුව රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගත් බවත් අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා කීය. ආනයනික සහල් සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 65ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා කීරි සම්බා මිල සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ජනවාරි මාසයේදී කීරි සම්බා ආනයනය කිරීමට කෙටි කලකට අවසර දුන් බව සඳහන් කළේය. එම වකවානුව තුළ නැව්ගත කළ සහල් තොගයෙන් කොටසක් පමා වී මෙරටට පැමිණීම නිසා එම තොගය වරායේ සිර වී ඇති බවත් එම සිරවී ඇති තොගය නිදහස් කර ගැනීම සඳහා පමණක් සතියක කාලයක් සඳහා සහල්වලට මෙම සහනය බලපැවැත්වෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT