Home » ලොව පළමුවරට සුනඛයන්ට ගුවන් සේවාවක්

ලොව පළමුවරට සුනඛයන්ට ගුවන් සේවාවක්

by sachintha
April 16, 2024 1:15 am 0 comment

ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ පළමු වතාවට සුනඛයන්ට පළමු පන්තියේ අත්දැකීම් විඳගත හැකි ආකාරයේ ගුවන් සේවාවක් ආරම්භ කිරීමට අමෙරිකාවේ සුනඛයන් වෙනුවෙන් සේවා සපයන සමාගමක් කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් ‘බාක්බොක්ස්‘ සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත මේ ඓතිහාසික සුනඛ ගුවන් සේවය ලබන මැයි මස 23 වැනිදා නිව්යෝක් නුවර සිට ලොස් ඇන්ජලිස් නුවරටත්, ලන්ඩන් නුවරටත් ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එදින නිව්යෝක් නුවර සිට ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරන ගුවන් යානයේ එක් ගමන් වාරයකට අමෙරිකානු ඩොලර් හයදහසක් අය කරන අතර, ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට එක් ගුවන් වාරයකට ඩොලර් අටදහසක් අය කරන බව ද සඳහන් වේ. මේ සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම පසුගිය 11 වැනිදා සිට අන්තර්ජාලය මගින් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. වසර 12ක කාලයක් පුරා සුනඛයන් සඳහා මාසික පැකේජයක් යටතේ ආහාර, කෙළි බඩු සහ වෙනත් උපකරණ සපයනු ලබන මේ ආයතනය සුනඛයන් සඳහා ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන පළමු අවස්ථාව මෙය වන අතර, එම ගුවන් සේවය ‘බාක් එයාර්‘ නමින් හඳුන්වනු ලබන බව ද වාර්තා වේ. සුනඛයන්ට සිය හාම්පුතුන් සමඟ එකට ගමන් කළ හැකි ආකාරයේ වීඅයිපී මගීන්ගේ ගුවන් ගමනක අත්දැකීම් මෙහිදී ලබාගත හැකි බවත්, උඩු ගුවනේදී සුනඛයන්ට විශේෂිත ආහාරපානවලින් සංග්‍රහ කරන බවත් බාක් එයාර් ගුවන් සේවය පිළිබඳ එම සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වේ.

ගුවන්ගත කිරීමේදී සහ ගොඩ බෑමේදී සිදුවන වායු තෙරපීමට සහ අධික ශබ්දයට සුනඛයන්ගේ අවධානය යොමු විමෙන් වළක්වා ගැනීමට එම අවස්ථාවලදී සුනඛයන්ට ප්‍රිය උපදවන බීම වර්ග පිරිනැමීමටත් කටයුතු යොදා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව උඩුගුවනේදී සුනඛයන් කලබලයට පත්වීම වැළැක්වීමට ද විශේෂිත ආරක්ෂක ක්‍රමවේද යොදා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT