Home » මුහුදු රළ පාරකට අසුව අතුරුදන් වූ සිසුවාගේ සිරුර මොරගල්ල වැල්ලෙන් හමුවෙයි

මුහුදු රළ පාරකට අසුව අතුරුදන් වූ සිසුවාගේ සිරුර මොරගල්ල වැල්ලෙන් හමුවෙයි

by sachintha
April 17, 2024 1:00 am 0 comment

 

අලුත්ගම මොරගල්ල මුහුදු වෙරළට මියගිය පාසල් සිසුවකුගේ මළ සිරුරක් ගොඩගසා තිබියදී ඊයේ (16) දහවල් හමු වූ බව අලුත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් සිරුර ගොඩගසා ඇත්තේ දර්ගා නගරය, වරාපිටිය, මිහිරි පැන්න පාරේ පදිංචිව සිටි කරන්දෙන හේවගේ මොහොමඩ් සමීර් (16) නමැති දර්ගා නගරයේ සහිරා මහා විදුහලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු බව විමර්ශන සිදු කරන අලුත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇති සිසුවා සම වයසේ මිතුරන් පස්දෙනකුත් තම මව හා සොයුරියන් දෙදෙනකුත් සමඟ බෙන්තොට දුම්රිය ස්ථානය ආසන්න මුහුදේ පෙරේදා (15) දින පස්වරුවේ දිය නෑමට පැමිණ ඇත. එහිදී රළ පාරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුවාගේ සිරුර අලුත්ගම පොලිස් වසමේ මොරගල්ල රන් සැතපුම නමින් හඳුන්වන වෙරළ තීරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපිටට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන් දැක පොලිසිය දැනුම්වත් කර තිබේ.

මෙසේ මියගොස් ඇති සිසුවාත් ඔහු සමඟ දිය නෑමට පැමිණි මිතුරන් පිරිසත් අතර සිටි කිසිවකුට පිහිනීමේ හැකියාවක් නොමැති බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

මියගිය සිසුවා මුහුදේ ගසාගෙන යන ආකාරය ඔහුගේ මව සහ සොයුරන්ද දැක තිබුණත් ඒ අවස්ථාවේ ජීවිත ආරක්ෂක නිලධාරීන් ඒ අවට සිට නොමැති බවත් විමර්ශන සිදු කරන පොලිසිය කියයි.

මෙම මෘත ශරීරය පිළිබඳ බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නස්ශ්‍රීන් මහතා මූලික මරණ පරීක්ෂණය සිදු කළ අතර සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට පැමිණි කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපරාධ ස්ථාන නිලධාරීන් විමර්ශන සිදු කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස අලුත්ගම පොලිසිය දැනුම්වත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා. උප පොලිස් පරීක්ෂක සේනාරත්න පොලිස් සැරයන් වීරසිංහ (79919) යන මහත්වරු විමර්ශන සිදු කරයි.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා සහ පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT