Home » රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ඉක්මනින් ලැබිය යුතුයි ආර්ථික විශ්ලේෂක, චිත්‍රාල් ජයවර්ණ

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ඉක්මනින් ලැබිය යුතුයි ආර්ථික විශ්ලේෂක, චිත්‍රාල් ජයවර්ණ

by sachintha
April 19, 2024 3:54 am 0 comment

මිල පාලනය සඳහා පාරිභෝගික අධිකාරියට ලොකු වගකීමක් තිබෙනවා

බොහෝ ප්‍රශ්නවලට නිලධාරීනුත් වගකිව යුතුයි / බදු අය කිරීමට ස්වයංක්‍රිය ක්‍රමයක් ඇති කිරීම වඩාත් හොඳයි

රුපියල ශක්තිමත් වීම මඟින් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම කෙසේද? බදු ප්‍රතිපත්ති විධිමත් කිරීම මඟින් රටට ලැබෙන වාසි කෙසේද? සහ තවත් ආර්ථික සහ සමාජයීය කරුණු පිළිබඳ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

ඩොලරය පහළ යාම ස්ථිර තත්ත්වයක්ද ?

මෙයින් රටට ලැබෙන වාසිය කුමක්ද ?

ඩොලරය මේ වනවිට රුපියල් 300 සීමාවට ළඟාවෙමින් තියෙනවා. මෙය ඉතා කෙටි කාලයක් තුළ සියයට 07ක පහළ යාමක්. මෙය ස්ථිර තත්ත්වයක් ද තාවකාලික තත්ත්වයක් ද යන්න එකවිට අර්ථකථනය කළ නොහැකියි. මක්නිසාදයත්, මෙම ඩොලරය පහළ යාම ඉතා කෙටි කාලයක් තුළ එකවිට පහළ යාම ආරම්භ වීම හේතුවෙනි. මෙය ස්ථිර තත්ත්වයක් ද යන්න පිළිබඳව තර්කානුකූලව පැවසීමට නොහැකිය. එය තව මාස කිහිපයක් නිරීක්ෂණය කළ යුතුයි. ඩොලරයේ අගය ඉදිරි මාස කිහිපය තුළ දී රුපියල් 290 සීමාවේ දෝලනය වුවහොත් එය ස්ථිර තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා විවිධ සාධකයන් බලපානවා. එම බලපානු ලබන සාධක උදාහරණයක් වශයෙන් ඩොලර් ආදායම් ලබන මාර්ගවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය දිගින් දිගටම වැඩි වුවහොත් අපනයන ප්‍රමාණිකව වැඩි වුවහොත් ඩොලරය ස්ථිර වශයෙන් ඉදිරියේ දී තවත් පහළ යන බව පෙනී යනවා.

ඒත් සමඟම ඩොලර් ආදායම් දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. ඒ අතර විශේෂ වන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශීය ආදායම් 2024 ජනවාරි මස ඩොලර් මිලියන 487.60ක් ද පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 497.06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සංචාරක කර්මාන්තය තුළින්ද ලැබෙන ආදායම් ඉහළ යාම තුළින් වෙළඳපොළ තුළ ඩොලර් හිඟයකින් තොරව පවත්වාගෙන යාමට හැකිවීම තුළින් ඉල්ලුම සැපයුම න්‍යාය අනුව තවදුරටත් පහළ යා හැකි බවත් නිරීක්ෂණය වෙනවා. සෑම දෙයක්ම තීරණය වන්නේ විදේශීය ණය ගෙවීමේ කාලසීමාව හා එම රටවල් සමඟ ඇති කරගන්නා එකඟතා අනුවයි.

එහි වාසිය ජනතාව වෙත නිසි ලෙස ලැබෙනවාද ? එසේ නොවනවා නම් එයට හේතු මොනවාද ?

ඩොලරය පහළ යාමේ වාසිය ජනතාවට එකවිට ලැබේ යැයි අපේක්ෂා කළ නොහැකියි. මක්නිසාදයත්, ආනයනකරුවන් මේ වනවිට තොග බඩු පැරණි මිල ගණන්වලට ආනයනය කර තිබෙන නිසා තව මාස කිහිපයකින් ඩොලරය මේ ආකාරයට පහළ අගයක පැවතියහොත් ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස පහළ යා යුතුයි. අනෙක් අතට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යද ඉදිරියේ දී ඒ අනුව පහළ යාමට ඉඩ තියෙනවා.

ඩොලරය ඉදිරියේ දී ස්ථාවර වුවහොත් ඉන්ධන මිල ද පහළ යා හැකියි. අනිවාර්යයෙන් ඉන්ධන මිල සූත්‍රය අනුව ගැලපුම් අගයන් සමඟ ඩොලරය පහළ යාම තුළ ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන මිල පහළ යා යුතුයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව ගැලපුම් මිල ඩොලර් අගය අනුව පහළ ගියහොත් සමස්තයක් ලෙස ඉන්ධන මිල පහළ යනු ඇත. ඉන්ධන මිල පහළ ගියහොත් පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යා යුතුයි.

ව්‍යාපාරිකයන්ගේ මිල ගණන් පහළ නොදැමුවහොත් එය පාලනය කිරීමේ වගකීම ඇත්තේ රජයට බව ද අවධාරණය කළ යුතුය. එම ව්‍යාපාරිකයින් පාලනය කිරීම ඕනෑම රජයක වගකීමයි. පාරිභෝගික අධිකාරිය මෙයට වැඩිය විශාල කාර්යභාරයක් කළ යුතු වන අතර වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ආයතනයක් ලෙස ගොඩනැඟිය යුතුයි. පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලු නැතුව නොවේ.

මෙම ආයතනය ප්‍රතිසංස්කරණය කළ යුතු කාලය එළඹ තිබෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, වෙළඳපොළ තුළ සාධාරණ මිලක් ගොඩනැඟීම පාරිභෝගික අධිකාරියේ විශාල වගකීමක් විදිහට පෙන්වා දිය යුතුයි.

උද්ධමනය පහළ යාම පිළිබඳව වාර්තා පල වුවද කොළඹ මිල දර්ශකය හා පාරිභෝගික මිල දර්ශකය ඒ බව දන්වන්නේ නැහැ ?

කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2024 පෙබරවාරි මාසය තුළ 200.6 සීමාවේ සිට මාර්තු මාසය වනවිට 196.7 සියයට 5.9කින් හා සියයට 0.9 කින් පහළ ගොස් තිබේ. සියයට 70% ට ළඟාවී තිබූ ලංකාවේ උද්ධමනය මේ වනවිට සියයට 5.9% (පෙබරවාරි මාසයේ 6.4% මාර්තු මස දක්වා පහළ අගයක පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් මෙයට වසරකට පෙර ආර්ථිකය කඩා වැටීමත් සමඟ ඉන්ධන ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම තුළ උද්ධමනය ඉතා ඉහළ අගයක් ගනු ලැබිණි.

නමුත් මේ වනවිට උද්ධමනය පහළ අගයක පැවතියත් සමහර පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම තුළ ජනතාවට තවමත් පාරිභෝගික භාණ්ඩ මිල වැඩි බව පෙනී යයි. එයයි යථාර්ථය. පසුගිය මාස කිහිපය තුළ දී එළවළු මිල ගණන් ඉහළ අගයක පැවති අතර මාළු, මස්, බිත්තර මිල ද ඉහළ අගයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම භාණ්ඩ මිල ගණන් මෙයට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් හා සාපේක්ෂව සලකා බැලීමේදී පහළ අගයකි. සරලව තවම අපට ඇඟට දැනෙන ලෙස බඩු මිල අඩු වී නොමැති බවයි පෙනෙන්නේ. සහල්, කිරිපිටි, පාන්පිටි වැනි තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉදිරියේදී අඩු වුවහොත් එය ජනතාවගේ ඇඟට දැනෙනවා ඇත. ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක් කිරීම රජයේ වගකීමක් විදිහටයි සැලකිය යුත්තේ.

මෙරට විදේශ සංචිත ඉහළ යාම ආර්ථිකයට බලපාන්නේ කෙසේද ?

ලංකාවේ විදේශ සංචිත ඉහළ යාම එක්තරා ආකාරයකට ආර්ථිකය ශක්තිමත් වීමේ සලකුණක් ලෙස පෙන්වා දිය හැකිය. විදේශ සංචිත ඉහළ යාම රටකට විවිධාකාරයෙන් වැදගත් වේ. එහිදී විශේෂයෙන් භාණ්ඩ ආනයනයේ දී මුදල් ගෙවීමේ වගකීම බැංකු දාමය සතුව පවතින අතර විදේශ සංචිත ඉහළ යාම තුළ භාණ්ඩ ආනයනය සඳහා වඩාත් පහසුකම් සලසනු ලබනවා.

බදු ප්‍රතිපත්තිවල පවතින හිඩැස් නිසා බදු අය කර ගැනීමේ ප්‍රතිඵලය යථාර්ථයක් බවට පත්කර ගැනීමට පුළුවන් ද ?

මේ දීර්ඝ කාලීනව එන ප්‍රශ්නයක්. බදු ගෙවන මිනිසා බදු ගෙවනවා. වංචාකාරයින් එයින් පලා යනවා. මේ රට කඩා වැටීමට හේතු වී ඇති තවත් වැදගත් සාධකයක් වන්නේ ද මෙම බදු වංචා කිරීම්. වංචා කරනකොට රටේ ආදායම් සැකසෙන්නේ කොහොමද? රජයේ වියදම් වැඩිවෙනවා ආදායම් දිගින් දිගටම අඩුවෙනවා. රජයට ආදායම් එකතු කරන මාර්ගයක් වන්නේ බදු. එය ඕනෑම රටකට පොදුයි. වෙනත් රටවල්වල බදු එකතු කිරීමට ස්වයංක්‍රීය ක්‍රමයක් පවතිනවා. එම ක්‍රමවේදයෙන් බැහැරව ආදායම් ලබාගන්න බැහැ. ආදායම් බදු නිසියාකාරව එකතු කරනවා. භාණ්ඩ ආනයනයේදී අපනයනයේදී අවශ්‍ය බදු ස්වයංක්‍රීයව ගෙවන්න වෙනවා.

අඩුම තරමින් අපගේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බදු රැස්කරන්නේ කොහොමද ස්වයංක්‍රීයව එය පවත්වා ගන්නේ කෙසේද යන්නත් අධ්‍යයනය කර තියෙනවාද කියන එක පැහැදිලි නැහැ. ආදායම් බදු එක්රැස් කරන ප්‍රධාන මාර්ගය වන්නේ රේගුවෙන් එකතු කරන බදු ආනයනකරුවා බදුවල වටිනාකම්වලට එයින් බදු අය කරනවාද යන්න සැකයි. ආනයනය කරන භාණ්ඩ බොහෝමයක් අඩු වටිනාකම් තක්සේරු සිදුකොට ආනයනය කරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ කියවුණේ ලූනු ආනයනයෙන් තමන්ගේ රුපියල් මිලියන 8000 බදු අහිමිකර ඇති බව. 2022 වර්ෂයේදී සිය බදු අඩු කිරීම මගින් රජයට වූ පාඩුව රුපියල් බිලියන 16ක් බව හෙළි වී තිබෙනවා. අප දැන්වත් මෙම ජාවාරම්වලට ඉඩ නොදිය යුතුයි. මෙහි සියලුම චෝදනාවන් එල්ලවන්නේ දේශපාලකයින්ටය. නමුත් වැඩි වගකීම නිලධාරීන් සතුව පවතිනවා. නිලධාරීන් කෙළින් වැඩ කරනවා නම් දේශපාලනඥයින් හොරකම්වලට පෙලඹෙන්නේ නැහැ.

බදු වංචාවන් වැළැක්වීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සිදුවිය යුතුයි. අනෙක් අතට කඩා වැටී ඇති පරිගණක පද්ධතිය ස්වයංක්‍රීය ලෙස බැංකු පද්ධතිය සමඟ අවශ්‍ය කාර්යයන් ඒකාබද්ධ කළ යුතුය. ඕනෑම පුද්ගලයෙකුගේ ආදායම්, බැංකු පද්ධතිය හරහා නිරීක්ෂණය කළ හැකි විය යුතුයි.

රේගු දෙපාර්තමේන්තුවේ පවතින පද්ධතිය ජාත්‍යන්තරය සමඟ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ සැකසිය යුතුයි. ඒ අනුව රේගු බදුවලින් සිදුවන වංචා අඩු කළ හැකිය. මේ සියලුදේට වඩා දැඩි නීති පද්ධතියක් සකස් කිරීම ඉතා වැදගත් වේ. දැඩි දඬුවම් ලබා දීම තුළින් යළිත් වරදට පෙලඹවීම වැළැක්විය හැකිය. රට තුළ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම තුළ බදු වංචාවන් විශාල ලෙස අවම කරගත හැකි වන අතර ඒ තුළින් ඇති වන වාසිය පොදු ජනතාවට ලබාදිය හැකිය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT