Thursday, May 2, 2024
Home » රටට නවෝදයක් ඇති කළ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න

රටට නවෝදයක් ඇති කළ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න

by sachintha
April 19, 2024 1:55 am 0 comment

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට (20) ප.ව. 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබේ. මේ ඒ මහතා පිළිබඳව ලියන ලද ලිපියකි.

ආරියරත්නයන් යනු එක් රටකට පමණක් පොදු වූ මිනිසකු නොවේ, ආසියානු කලාපයේ අවධානය සහ කතාබහට ලක් වූ මිනිසෙකි. සර්වෝදය ව්‍යාපාරය යනු දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් ව්‍යාපාරයකි.

සර්වෝදය යනු මෙරට ගම්මාන පහළොස්දහසකට සෙත සහන සැලසූ මහජන සහභාගී ව්‍යාපාරයකි. මෙරට වැඩිම ව්‍යාප්තියක් සහ සබඳතා ජාලයක් සහිත රාජ්‍ය නොවන සංවිධානය වන්නේද සර්වෝදය ව්‍යාපාරයයි. දිළිඳුකම තුරන් කිරීම හා ගැටුම් රහිත සමාජයක් ඇති කිරීම සර්වෝදයේ මූලික මෙහෙවර ලෙස සඳහන් කළ හැකිය. සර්වෝදය නිසා මෙරට දහස් සංඛ්‍යාත පවුල්වල ආර්ථික සහ සමාජයීය තත්ත්වය නඟාසිටුවීමට හැකි විය. මෙවැනි මහා ප්‍රජා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තබා ඒ ගැන කල්පනා කිරීම පවා විශ්මය දනවන කරුණකි. එවැනි මහා සංවිධාන ජාලයක් ගොඩනැඟූ කුඩා මිනිසා වන්නේ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ය. ඔහු සිරුරෙන් කුඩා වුවද සංකල්පමය ශක්තිය අතින් යෝධ මිනිසෙකි.

ඔහු සඳහන් කරන ආකරයට තමා සතුව කිසිදු පුද්ගලික ධනයක් හෝ දේපළක් නොමැති බව ඔහු ප්‍රසිද්ධ මාධ්‍යකට ප්‍රකාශ කර තිබේ.

1931 නොවැම්බර් 5 වැනිදා උපත ලද අහංගමගේ ටියුඩර් ආරියරත්නයන්ගේ මාපියන් වූයේ උණවටුනේ පදිංචිව සිටි හෙන්ද්‍රික් ජිනදාස මහතා සහ රොස්ලින් ගජධීර මහත්මියයි. පවුලේ තුන්වැනි දරුවා ලෙස උපත ලද ආරියරත්න මූලික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙනි. අනතුරුව බළන්ගොඩ මැද්දකන්ද විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඔහුගේ පාසල් අවදිය ගැමි පරිසරය සහ එයින් ලද පන්නරයෙන් වඩාත් ශක්තිමත් විය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව උණවටුන බොනවිස්ටා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ආරියරත්න උසස් අධ්‍යාපනය සඳහා තෝරාගනු ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. මහරගම ගුරු විදුහලට ඇතුළත්වීමේ වාසනාව ලැබුණේ 1956 වසරේදීය. එම වර්ෂය රටට මෙන්ම ඔහුට ද විශේෂ වර්ෂයක් වූයේ ආරියරත්නයන්ගේද රටේ ද විශාල පෙරළියක් සිදු වූ නිසාවෙනි. එහිදී පළමු පෙළ විද්‍යා පුහුණු ගුරු සහතිකය ලබාගත් ආරියරත්න අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාල‍යෙන් කලා උපාධිය හිමිකර ගත්තේය. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් ඔහුට සාහිත්‍යසූරී ආචාර්ය උපාධිය පිරිනැමීය. මානව විද්‍යා ආචාර්ය උපාධිය ඔහු ලබාගත්තේ පිලිපීනයේ එමලියෝ ඇගිනාඩෝ වෛද්‍ය විද්‍යාලයෙනි. මානව හිතවාදී ශ්‍රමදාන ව්‍යාපාරයක් ලෙස ඇරඹි සිය ව්‍යාපාරය 1960 වසරේදී ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ලෙස නම් කරන ලදී.

ගුරු විදුහලේ පුහුණුවෙන් පසු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසට සේවය කිරීමට ආරියරත්න මහතාට අවස්ථාව උදා විය. ඒ අනුව විවිධ ශ්‍රමදාන ව්‍යාපාර දිගින් දිගටම මෙහෙයවනු ලැබීය. ඒ මහතාගේ මානව සමාජ සේවාව අගය කිරීම සඳහා 1969 වසරේදී ප්‍රජා නායකත්වයට හිමිවූ රුමන් මැග්සයිසයි ත්‍යාගය ඔහුට ලැබුණි. ඉන් අනතුරුව අ‍ෙමරිකාව, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඉන්දියාවෙන් ද ඒ මහතාට ගෞරව සම්මාන පිරිනමා ඇත. ඒ මහතාට හිමිවූ සම්මාන අතර අ‍ෙමරිකාවේ රෝස් දිවයිනේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය මඟින් ලෝක සාගින්න අඩු කිරීම සහ නිවාරණය කිරීම සඳහා පිරිනමන ලද ඇලෂොන් ෂයින්ස්ටයින් ත්‍යාගය ද වෙයි. ගාන්ධි සාරධර්ම, ඉන්දියාවෙන් පිට ප්‍රචලිත කිරීම වෙනුවෙන්ද ඒ මහතාට ත්‍යාගයක් පිරිනැමිණි. ඉන්දියාව මඟින් පිරිනමන ලද ගාන්ධි සාම ත්‍යාගය ද ආරියරත්න මහතාට හිමිවිය. උසස් ශාස්ත්‍රීය ප්‍රවීණතා සම්මානය ඔහුට පිරිනමන ලද්දේ ජපානයේ සෝකා විශ්වවිද්‍යාලය මඟිනි. අ‍ෙමරිකාවේ අන්තර් ආගමික සම්මෙලනය මඟින් පිරිනමන ලද සාම සාධනය හා අහිංසාවාදී සමාජ පරිවර්තනයක් සඳහා දායකත්වය වෙනුවෙන් විශ්ව ග්ලෝබල් සාම සම්මානය ඔහුට හිමිවිය. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ජාත්‍යන්තර සාම ත්‍යාගය ද ආරියරත්න මහතාට ලැබිණි.

ආරියරත්නයන් යනු එක් රටකට පමණක් පොදු වූ මිනිසකු නොවේ, ආසියානු කලාපයේ අවධානය සහ කතාබහට ලක් වූ මිනිසෙකි. සර්වෝදය ව්‍යාපාරය යනු දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් ව්‍යාපාරයකි. ආරියරත්න මහතා විශ්වාස කළ අයුරින් සර්වෝදය ව්‍යාපාරය ගමට සහ රටට පමණක් සීමා කළ යුතු එකක් නොවීය. ඒ මහතා සර්වෝදය ව්‍යාපාරය ගාන්ධි පදනමත් සමඟ සම්බන්ධ කළේ එහෙයිනි. ඒ සමඟ සර්වෝදය ව්‍යාපාරය ජාත්‍යන්තර ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය.

සර්වෝදය ව්‍යාපාරයේ ස්වර්ණමය දසකය ලෙස සැලකෙන්නේ අසූව දසකයයි. එකල එයින් ඵල ලබා නොගත් තරුණයකු, තරුණියක නොසිටි තරම්ය.

අ‍ෙමරිකාවේ මැඩ්සන් විශ්වවිද්‍යාලයේ ද ජාත්‍යන්තර විශ්වාසය සහ වටිනාකම පිළිබඳ ආයතනයෙන් පිරිනමන ලද යාදෙන දර්ශනය සහ වටිනාකම් ත්‍යාගය ද හිමිකරගත් ආචාර්ය ආරියරත්න මහතාට ශ්‍රී ලංකාවෙන් ද සම්මාන රැසක් හිමිවිය. ඒ අතර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් “විශ්වකීර්ති ශ්‍රී ජනරංජන ලංකාමාන්‍ය” ගෞරව නාමයද කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම සභාව මඟින් පිරිනමන ලද “ජගත් විශ්‍රැත යශෝභිමානි” ගෞරව නාමය ද ඇතුළත් වී තිබේ.

ආරියරත්න මහතා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූයේ සර්වෝදය ජනතා ව්‍යාපාරයක් බවට පත්වීමත් සමඟය. ඔහුගේ සර්වෝදය ව්‍යාපාරය තුළ කිසිවිටෙක පක්ෂ දේශපාලනය නොතිබී අතර ඔහු නිර්පාක්ෂික මිනිසෙකි. මේ හේතුව නිසාම ඔහුගේ ජීවිතයට පවා තර්ජන ඇති වූ අවස්ථා නැතිවා නොවේ. එතුමා විනාශ කිරීමට නොයෙක් බලවේගයන් ද ක්‍රියාත්මක වූ අතර ඒ සියල්ල නිශ්ක්‍රිය වූයේ මෙරට පොදු ජනතාවගේ වාසනා මහිමයටය.

සැබැවින්ම ඒ.ටී. ආරියරත්න මහතා වැනි මිනිසුන් රටකට බිහිවන්නේ දුර්ලභ ලෙසය. වෙනත් වචනයකින් සඳහන් කළහොත් සියවසකට වරක් බිහිවන ඔහු වැනි මිනිසුන් තවත් සියවයසක් ගත වුවද මිනිසුන්ට අමතක නොවේ.

ප්‍රසන්න ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT