Sunday, May 5, 2024
Home » බදුල්ලේ ගෙදරක ත්‍රිරෝද 4ක් කොටස් කර වෙනස් කරලා

බදුල්ලේ ගෙදරක ත්‍රිරෝද 4ක් කොටස් කර වෙනස් කරලා

අංක තහඩු 11ක් එක්ක සැකකරුවෙක් දැලේ

by sachintha
April 26, 2024 1:41 am 0 comment

බදුල්ල නගරයට ආසන්නයේ ඇති නිවෙසක කොටස් ගලවා වෙනස් කිරීම් කරමින් තිබූ ත්‍රිරෝද රථ 4ක් සහ වෙනත් වාහන අංක තහඩු 11ක් සමඟ සැකකරුවකු ඊයේ (25) බදුල්ල පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පැවසීය. සැකකරු ⁣නගරයට නුදුරින් පිහිටි මෙම නිවෙස කුලියට ගෙන පදිංචිව සිටින බවත් එම නිවෙසේ කොටස් කරන ලද ත්‍රිරෝද රථ කිහිපයක් ඇති බවටත් පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවත් පොලිසිය පැවසීය. එහිදී අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිරෝද රථ හතරේ එන්ජින් ගලවා එවායේ අංක සහ චැසි අංක වෙනස් කර එම රථවල තවත් වෙනස්කම් රැසක් කර තිබූ බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසීය.

ඒ අනුව අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථවල සහ වාහන අංක තහඩු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත යැවීම සඳහා පියවර ගන්නා බවද පොලිසිය කීය.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත, පොලිස් අධිකාරි (1) බුද්ධික ගුණසේකර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල, උ.පො.ප. කුමාර, නලින් සහ පොලිස් සැරයන්වරුන් වන ගයාන් (74449), ජයන්ත (533778) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරති.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT