Wednesday, May 8, 2024
Home » ඕනැ කෙනකුට දැන් මේ මල් වට්ටියට අතගහන්න පුළුවන් – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
වෙල්ලස්සේ වෛද්‍ය පීඨය හැදුවේ ගැටලු රාශියකට මුහුණ දෙමින්

ඕනැ කෙනකුට දැන් මේ මල් වට්ටියට අතගහන්න පුළුවන් – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

by sachintha
March 27, 2024 1:00 am 0 comment

 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා උප්පැන්න දීමට අද ඕනෑ තරම් අය සිටියත් ඒ කිසිවකු ළමයා බිහි කරන්න දායකත්වයක් නොදුන් බවත් අද රටේම තත්ත්වය එය බවත් වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත කෙරෙන වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ඉදි කිරීමට නියමිත නව ගොඩනැඟිල්ලකට මුල්ගල් තැබීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය:

“ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේදී අප ගැටලු රැසකට මුහුණ පෑවා. මේ සඳහා ඉඩම් ගන්නවාට වතුකරයේ ජනතාව විරුද්ධ වුණා. අපට ලොකු නීතිමය සටනක් කරන්න සිදු වුණා. මෙහි ප්‍රථම උප කුලපති ලෙස ඇඹුල්දෙණිය මහතා විශ්වවිද්‍යාලය හදා මෙහි අලුත් සංස්කෘතියක්ද බිහි කළා. අප ඒ සංස්කෘතිය රැකගන්න ඕනෑ. මමයි ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් ඉල්ලුවේ. ඌවට වෛද්‍ය පීඨයක් දෙනවාට අනෙක් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අය විරුද්ධ වුණා. රටේ වෙනත් ක්ෂේත්‍රවල වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් නිලධාරිවාදය ඉතා තදට තිබෙනවා. ඒත් අප ලොකු සටනක් කර එය ලබාගත්තා.

ඉන්පසුව ආ ප්‍රශ්න මූල්‍ය ගැටලු විසඳුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. මෙයට අවශ්‍ය ප්‍රතිපාදන එතුමා දුන්නා. මහාචාර්ය ඒකකයට රුපියල් බිලියන තුනක් දුන්නා. දැන් දස මහල් මහාචාර්ය ඒකකය බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදි කෙරෙනවා. බදුල්ල මහ රෝහල ආණ්ඩුවේ සල්ලිවලින් විතරක් හදපු එකක් නොවේ. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිව ඉන්න කාලෙ රතුකුරුස සංගමයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් බිලියනයක් ගත්තා රෝහලේ සංවර්ධනයට.

“දැන් ඕනැ කෙනකුට මේ මල් වට්ටියට අතගහන්න පුළුවන්. ඒත් මල් කැඩුවේ අප බව මතක තියාගන්න ඕනෑ. අපි මල් නොකැඩුවා නම් මේකට උප්පැන්න දෙන්න කාට වත් ලැබෙන්නේ නෑ. අද මේකට උප්පැන්න දෙන්න ඕනැ තරම් අය ඉන්නවා. ඒත් ඒ කවුරුත් ළමයා බිහි කරන්න දායකත්වයක් වෙලා නෑ. ඒකයි අද රටේත් තත්ත්වය.”

හාලිඇළ සමූහ ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT