Saturday, April 27, 2024
Home » කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැතක් CIDය විමර්ශන අරඹයි
ඔත්තුකරුවකුගේ ලිපියකින් ප්‍රහාරය ගැන තොරතුරු

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැතක් CIDය විමර්ශන අරඹයි

by sachintha
March 27, 2024 1:00 am 0 comment

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනයට තැත් කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තමා උපදෙස් දුන් බව “දිනමිණ” සිදු කළ විමසීමකදී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් සඳහන් කළේය.

ඔත්තුකරුවකු විසින් යොමු කරන ලද ලිපියකින් මෙම ප්‍රහාරය ගැන තොරතුරු අනාවරණය වන බව කියැවේ.

ඒ අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් ප්‍රකාරව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයකු විසින් දුරකතන මාර්ගයෙන් ගිනි අවියක් ඉල්ලා ඇති බව සඳහන් කරමින් ඔත්තුකරුවකු ලිපියකින් දැනුම්දීමක් කර ඇති බවත් ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබෙන බවත් සඳහන් වේ.

එම අවිය ඉල්ලා සිටි බව කියන පුද්ගලයාගේ දුරකතන අංක සහිතව විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර එම දුරකතන අංක සම්බන්ධ විමර්ශන සිදු කරනු ලබන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

ප්‍රහාරයක් එල්ල කිරීමට ගිනි අවිය ඉල්ලා ඇත්තේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන් බව එම ලිපියේ දක්වා ඇති අතර ඔහු ඉවරයක් කළ යුතු බව ද එහි සඳහන්ව ඇතැයි ද පැවසේ.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු විසින් ගෙන යන යුක්තිය මෙහෙයුමට පහරක් එල්ල කිරීම මෙහි අරමුණ බව තුවක්කුකරුවා විසින් ඔත්තුකරුට දුරකතනයෙන් දන්වා ඇති අතර යුක්තිය මෙහෙයුම අඩාළ කර ඔවුන් අපකීර්තියට පත් කිරීම මෙහි තවත් අරමුණක් බව ද එම ඔත්තුකරුවාට තුවක්කුකරුවා විසින් දැනුම් දී ඇති බව කියැවේ.

මෙම සිද්ධියෙන් පසුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තරකර ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT