Home » මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහනට බිලියන 25ක්

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහනට බිලියන 25ක්

- ජනපති වෙන් කර දුන් බව ඇමැති අමරවීර කියයි

by sachintha
April 17, 2024 2:21 am 0 comment

 

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මීට අදාළව තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවත් ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක අවම වශයෙන් ගම්මාන 200ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කරන බවත් ඇමැතිවරයා කීය.

මේ මස 18 වැනි දිනට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පලතුරු පැළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක මණ්ඩලවලට ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේ විශේෂයෙන් ඩ්‍රෝන තාක්ෂණය ලබා දීම, වී වගා කිරීම සඳහා පැරෂුට් තැටි භාවිත කිරීම, ජල සම්පාදනය සඳහා විසිරි ජල තාක්ෂණය මෙන්ම බින්දු ජල වාරිමාර්ග ක්‍රමය භාවිතා කිරීම,වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බීජ වගා කිරීම මෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කරමින් ගුණාත්මකභාවයෙන් ඉහළ බෝග වගා කිරීම හා වගාව සඳහා ආරක්ෂිත ගෘහ ලබා දීම වැනි වැඩසටහන් රැසක් මේ යටතේ හඳුන්වාදීමට නියමිත බවයි.

‘ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයෙන් වැඩි පලදාවක් ලබා ගැනීමට නම් නව තාක්ෂණය කෘෂි අංශයට හඳුන්වා දිය යුතුයි. සාම්ප්‍රදායික ක්‍රම අනුගමනයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අසීරුයි. එමෙන්ම එමඟින් ගොවි ජනතාවට ඉහළ ආදායමක් ද ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. මේ නිසා තරුණ ප්‍රජාව මෙරට කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා. කෘෂිකර්මාන්තය ආදායම් ඉපයිය හැකි වෘත්තියක් නොවන බවට හැඟීමක් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතිනවා. එම නිසා මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාවගේ විශ්වාසය යළි තහවුරු කර ඔවුන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දීමට කෘෂි නව්‍යකරණ වැටසටහන් හඳුන්වා දී තිබෙනවා.පසුගිය වසරේ හම්බන්තොට, මොනරාගල, ගාල්ල , වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවල තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ක්‍රමය ආරම්භ කළ අතර මේ වනවිට එම වැඩපිළිවෙළ අතිශය සාර්ථක වී තිබෙනවා.

මේ නිසා මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක අඩුම තරමින් ගම්මාන 200ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ වැඩපිළිවෙළ යටතේ ඉලක්ක කර තිබෙනවා. අපේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ. නමුත් මේ කෘෂි නවීකරණ වැඩ සටහන සඳහා ජනාධිපතිතුමා මගේ ඉල්ලීමට අනුව රුපියල් බිලියන 25ක් ලබාදීමට එකඟ වුණා. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිය හැක්කේ කෘෂිකර්මාන්තයෙන් පමණක් බව අද බොහෝ දෙනා වටහාගෙන ඉවරයි.අපි ඒ සඳහා ක්‍රමවත් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා යැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT