Home » සිඟිති පුතු තනි කර වික්ටෝරියා ජලාශයේ සැඟවී ගිය තරුණ යුවළ

සිඟිති පුතු තනි කර වික්ටෝරියා ජලාශයේ සැඟවී ගිය තරුණ යුවළ

by sachintha
April 17, 2024 2:22 am 0 comment

පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය රොහලේදී

මළසිරුරු ඥාතීන්ට භාර දෙයි

යුවළ බේරාගන්න දියට පැන්න තිදරු පියාත් දිය රකුසාට බිලි

තම උපන් බිමෙන් වසර ගණනාවක් ඈත්ව සිට යළි සිය උපන් බිමට තම බිරිය සමඟ පැමිණ වසර දෙකක සිඟිති පුතු තනිකර දමා වික්ටෝරියා ජලාශයේ පතුලේ සැඟවී ගිය පුංචි කැදැල්ලේ ඩිල්ෂාන් දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයේත් අයේෂා තිහාරිය ප්‍රදේශයේත් උපන් වයස අවුරුදු විසිඅටක හා වයස අවුරුදු විසි හතර වියේ පසු වූ යුවළකි.

දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයේ උපන් ඩිල්ෂාන් අයේෂා යන දෙදෙනා කොවිඩ් වසංගත සමයේ විවාහ වූ යුවළකි.

විවාහයෙන් පසු දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් බැහැර වූ ඩිල්ෂාන් සිය විවාහක බිරිය වූ අයේෂා ජීවත් වූ තිහාරිය ප්‍රදේශයේ පදිංචියට ගියේය.

එහි වසර දෙකක කාලයක් ගත කර සිය මවුපියන් බැලීමට රාමසාන් උපවාසය වෙනුවෙන් දිගන, කුඹුක්කඳුරට ආවේ සිය බිරිය වූ අයේෂා හා සිඟිති පුතු සමඟය.

ඒ අතරතුර කාලයේදී පෙරේදා (15) දහවල් ආහාර ගෙන මඳක් විවේකීව සිටි ඔවුන් දෙදෙනා නි‍ෙවසට යාබදව තිබෙන වික්ටෝරියා ජලාශයේ කුඹුක්කඳුර ඔයට බැසීමට යන්නේ සිඟිති පුතු නිදිකරවීමෙන් පසුවය.

මුලින්ම ජලාශයට ගියේ අයේෂාය. ඇය දිය නෑමට සැරසෙනවාත් සමඟම පය ලිස්සා ගොස් ඇය ජලාශයේ ගිලෙන විට ඇය බේරාගැනීමට ජලයට පැන්නේ ඩිල්ෂාන්ය. ඔහු අයේෂා අල්ලා ගන්නවාත් සමඟම දෙදෙනාම ජලයේ ගිලී නොපෙනී ගියහ. මෙම දෙදෙනාගේ සිරුරු දෙක ගොඩගැනීමට ඉදිරියට එන්නේ අලුත්වත්තේ ආනන්දන් නමැත්තෙකි. දියට පැන ඔහු එක් අයකුගේ සිරුර ගොඩගෙන යළි ජලාශයට ගියා ගියාමය. ඔහු ද ජලාශයට බිලිවිය. දිගන, අලුත්වත්තේ පදිංචිකරුවකු වන ආනන්දන් වයස අවුරුදු තිස්අටක තිදරු පියෙකි. ජලාශයෙන් ගොඩගත් මළසිරුරු තුන වෛද්‍ය පරීක්ෂණ සඳහා තෙල්දෙණිය දිසා රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඥාතීන්ට භාර දුන්නේය.

කරල්ලියද්ද සමූහ – කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT