Home » ළමා, කාන්තා අපයෝජනවලට අන්තර්ජාලය මූලික හේතුවක් වෙලා

ළමා, කාන්තා අපයෝජනවලට අන්තර්ජාලය මූලික හේතුවක් වෙලා

-ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා අපයෝජන විමර්ශන හා නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර

by sachintha
April 17, 2024 2:23 am 0 comment

ළමයින්ට, කතුන්ට සිදු වන අපරාධ ගැන 109ට කියන්න

සමාජයේ සමහරු වින්දිතයන් පීඩාවට පත් කරනවා

සමාජ ගැටලු මඬින්න පොලිසියට හැකියාව තිබෙනවා

කාන්තාවන්, ළමුන් සුරක්ෂිත කිරීම සෑම රටකම පාහේ ප්‍රධාන අරමුණකි. එය එසේ වීම පිණිස රට රටවල් අන්තර්ජාතික වශයෙන් සම්මුති, ගිවිසුම්වලටත් එළඹ තිබේ. එහෙත්, ඊට කොතෙකුත් අභියෝග එල්ල විය හැකිය. ඒ ගැටලු නිරාකරණය කර ගනිමින් සමාජයීය සත්ත්වයකු වශයෙන් මිනිසා තිරසර ගමනක යෙදිය යුතුව ඇත. එහිදී මෙරට මුහුණ දෙන ගැටලු හා නීතියෙන් ඒවා නිරාකරණය අතින් අප සිටින්නේ කොතැනද? අපි දැන් ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා අපයෝජන විමර්ශන හා නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සමඟ කතාබහකට එළඹෙමු.

අපිට අද පවුල් ආරවුල් ගැන කතාබහ අන්තර්ජාලය ළඟින් පටන් ගන්න වෙලා?

අන්තර්ජාලය වැරැදි භාවිතයත් සමඟ ඔය වැනි ගැටලුත් බෙහෙවින් දක්නට ලැබෙනවා. ඊට අදාළව වාර්ෂිකව පොලිසියට බොහෝ පැමිණිලි ගණනක් ලැබෙනවා. සමහරු ඉතා කෙටි කලක් තුළදී අන්තර්ජාලය හරහා දැන හඳුනාගෙන, ඒවා ලිංගික සබඳතා දක්වා දුරදිග අරන් ගිහින්. වෙනදා දක්නට නොලැබුණු, ලොකු වයස් පරතරයක් ඇති පිරිමින් සමඟ සමහර බාලවයස්කාර දරු දැරියන් සහ සම්බන්ධකම් පවත්වා ගෙන යෑමේ වැඩි වීමක් මෙකල දකින්න පුළුවන්. ඒත්, ඒ සම්බන්ධකම් කැඩී බිඳී ගියාමයි හුඟ දෙනෙක් නීතියේ පිළිසරණ අපේක්ෂා කරන්නේ. මවුපියන් අසීමිතව අන්තර්ජාල භාවිතයට ළමුන්ට ඉඩ දීමෙන් මෙවැනි ඛේදවාචක ඇති වූ බවට සමහර සිද්ධි සාක්ෂි දරනවා. හැබැයි, ඒ වෙද්දී හුඟ දෙනකුගේ පුද්ගලික ජීවිතයට, චරිතයටත් කැළැල් ඇති වෙලා. සමහරු ළඟින් ඇසුරු කළ කාලයේදී ගත් අතිශය පුද්ගලික ඡායාරූප, පසුකලෙක අමනාප වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල, මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කරන්න පෙලඹිලා. මේ ගැටුම් මිනීමැරුම්, බරපතළ තුවාල සිදු කිරීම් ආදී ඛේදජනක තැන්වලින් අවසන් වූ අවස්ථා සඳහා ඕනෑ තරම් උදාහරණ තියෙනවා. අනෙක, ඒ බොහෝ අවස්ථාවලදී වඩාත් පීඩාවට පත් වන්නේ දරුවන්. කාන්තාවන්ගේ රැකවරණය යටතේ සිටින නිසා ඇයට වන හිංසා, පීඩා, කොන් කිරීම්, කරදර හිරිහැර හැම එකක්ම වගේ දරුවන්වත් රිද්දනවා. ඒ වග කවුරුත් නිතර මතක තබා ගත යුතු වෙනවා.

ස්ත්‍රී දූෂණ, කාන්තා හිංසන වැඩිවීමක් දක්නට තියෙනවාද?

ඇතැම් පළාත් සලකා බැලූවිට වැඩිවීමක් සංඛ්‍යා ලේඛන අනුව පෙනෙනවා. පොදුවේ සලකා බැලුවාමත්, කලින් සඳහන් කළා වගේ, බාලවයස්කරුවන් අතුරෙන් ස්ත්‍රී දූෂණ සිද්ධි වාර්තා වීමේ වැඩි වීමක් හඳුනා ගන්න පුළුවන්. අනාරක්ෂිත වටපිටාවක ජීවත් වන දරුවන්, වැඩිහිටියන්ගෙන් ලැබිය යුතු රැකවරණය පිටස්තර තැනැත්තන්ගෙන් සොයන්න පෙලඹෙනවා. ඒත්, සමාජයේ හුඟ දෙනකු දරුවන් සොයන ඒ අහිංසක ආදරය, බලාපොරොත්තු ඉෂ්ට කරන්න තරම් සංවේදී නැති බවත් කිව යුතුයි. ඉතින්, ඒ ඇසුරෙන් පැන නඟින සමාජ ගැටලුවලට නීතියෙන් උත්තර හොයන්න වෙලා තියෙනවා.

ඒ ගැටලු, පිළියම් ගැනත් කියමුද?

අපි මේ වසර මුල ඉඳන් 109 කෙටි දුරකතන අංකය කාන්තාවන්, දරුවන්ට වන අකටයුතුකම් නිරාකරණයට දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකයි. ළමා හා කාන්තා කාර්යාංශ සඳහා කාන්තා නිලධාරිනියන්ගේ සහාය දෙමින්, කාන්තාවන්ට තමන්ගේ ගැටලුවලට අදාළ පැමිණිලි අපහසුතාවකින් තොරව ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තියෙනවා. වත්මන් පොලිස්පතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයන්හි පහසුකම් වැඩි කරමින් එම සේවා පුළුල් කිරීමට උපරිම වශයෙන් ඉඩ සලසා දෙනවා. එසේම, දැන් මාර්ගගතව එවේලේම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඊට අදාළ ඡායාරූප, හඬපට, ලියකියවිලි ආදියත් යොමු කිරීමටත් පුළුවන්. ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියට එය මහඟු රුකුලක්.

අන්තර්ජාලයෙන් ළමුන් යොදවා රූගත කළ ලිංගික දර්ශන ඇතුළත් ඡායාරූප, වීඩියෝ ආදිය ප්‍රසිද්ධ කිරීම පිළිබඳ තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පති උපදෙස් අනුව කටයුතු කරනවා. එවැනි කටයුතුවලට අනුබල දීම, ඒවා ළඟ තබා ගැනීම ආදියත් වැරැදියි. එවැනි සිද්ධි, පුද්ගලයන් අපට ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට අන්තර්ජාතික සහාය ලැබෙනවා. එසේම, එම වැරදිවලට අදාළ දඬුවම් දැඩි කිරීමටත් අදාළ අංශ කටයුතු කර තියෙනවා. වසර 10ක සිර දඬුවම් ඊට අදාළ වැරැදිවලට වරදකරුවන් වන තැනැත්තන්ට අධිකරණයෙන් නියම කළ හැකියි. එම නීති විරෝධී කටයුතුවලට භාවිත කළ උපකරණ, උපාංග රාජසන්තක කිරීමත් මෙහිදී අනිවාර්යයෙන්ම වෙනවා. අනෙක, පැමිණිලි නොලදත් පොලිසිය එවැනි නීති විරෝධී දර්ශන, වීඩියෝ පිළිබඳ ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාලයේ එවැනි දේ ඇතිදැයි පොලිසිය නිරන්තර සෝදිසියෙන් පසු වෙනවා.

ඒත්, ඒ බොහොමයක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මට්ටමෙන් නේද?

ඔව්. ඒ අතින් අන්තර්ජාතික මට්ටමෙන් සහාය පොලිසියට ලැබෙනවා. ඊට අදාළ අන්තර්ජාතික දත්ත පද්ධතිය හරහා පොලිසියට එම වෙබ් අඩවි පවත්වාගෙන යන තැනැත්තන්, එම ස්ථාන ආදිය පොලිසියට පහසුවෙන් හඳුනාගත හැකියි. මෑත කාලීනව එවැනි ස්ථාන රැසක් වටලමින් අදාළ සැකකරුවන්ට නඩු පවරා තියෙනවා. ඒ තැනැත්තන් පොලිසිය අදාළ තැනට ගිහින් වැටලීම් කරන තෙක් තමන්ට වැඩ වැරදුණු බව දැන සිටියේ නැහැ. ඉතින්, තවදුරටත් ළමුන් භාවිත කරමින් ජාවාරම් කරන්නන්ට එරෙහිව තදින් කටයුතු කෙරෙනවා. ඒ සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවලට අනුබද්ධ ළමා හා කාන්තා කාර්යාංශවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී පොලිසියේ විවිධ අංශවල සහාය ලැබෙනවා.

පොදු ප්‍රවාහනයේදී කතුන් මුහුණ දෙන තත්ත්වයත් යහපත් නැහැ නේද?

ඒත් දැන් කතුන් හිරිහැරයට ලක්වන අයුරින් කටයුතු කරන අයට එරෙහිව දීප ව්‍යාප්ත මට්ටමෙන් කටයුතු කෙරෙනවා. ඒ අනුව එහි පැහැදිලි අඩුවක් දක්නට පුළුවන්. ඉදිරියට තවදුරටත් එවැනි සිද්ධි වාර්තා වීම අඩු වෙයි. සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් පොදු ප්‍රවාහන මාධ්‍යවල යොදවා ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා. මහජනතාවත් ඒ වැඩපිළිවෙළ ගැන දැන් හොඳින් දැනුම්වත්.

පවුල් ආරවුල් ගැන කවදත් වැඩිපුර අසන්නට, දකින්නට ලැබෙනවා?

ළමා හා කාන්තා කාර්යාංශය හරහා ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ විවිධ වැඩසටහන් මෙහෙයවනවා. ඒ අනුව එහි අඩුවක් දක්නට තියෙනවා. පහරදීම්, බැණ ගැනීම්, නිවෙසින් පලවා හැරීම් ආදිය නිසා කාන්තාවන්, ළමුන් දැඩි සේ පීඩාවට පත් වෙනවා. එහි බැරෑරුම්කම කියා දීමට පොලිසිය නිතර වෙහෙසෙනවා. හැබැයි, බොහෝ පවුල් ආරවුල් පොලිසියට වාර්තා වෙන්නේ අඩුවෙන්. ඒත්, මිනීමැරීම, බරපතළ තුවාල කිරීම් වැනි සිද්ධි සලකා බැලුවාම ඒ ඒ පවුල් අතර ඊට බොහෝ කලක සිට ආරවුල් පැන නැඟී ඇති බව හඳුනාගත හැකියි. ඉතින් සැමියාගෙන්, සහකරුගෙන් වන හිරිහැර ගැන පැමිණිලි කරන්නට, හුඟක් කාන්තාවන් පොලිසියට පැමිණ තිබුණත් ඒ බොහෝ වාරවලදී, දෙපාර්ශ්වය සමාදාන කර නැවත යැවූ බවක් පෙනෙන්නට තියෙනවා. ඒත්, නිතර නිතර එවැනි පැමිණිලි එන පවුල් සම්බන්ධයෙන් ඉන් එහාටත් යමින් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තියෙනවා. ඒ අනුව පවුල් අඬදබර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මිනීමැරීම්, සියදිවි නසාගැනීම් අඩුවීමක් හඳුනාගත හැකියි. කලෙකට ඉහත දහස් ගණනින් වාර්ෂිකව වාර්තා වුණු ඒ ගණන දැන් අඩුකර ගැනීමට රටක් විදිහට අපට පුළුවන් වෙලා තියෙනවා. ඉදිරි දශකය තුළදී පවුල් ආරවුල් හේතුවෙන් වන අපරාධ තවදුරටත් අඩුකර ගැනීම පිණිස ඒ දැනුම්වත් කිරීම් අඩුකර තියෙනවා.

යාචක වෘත්තියටත් කතුන්, දරුවන් බිලි වෙනවා?

පොලිසිය සැලසුම්සහගතව කටයුතු කරමින් කෙටි කලක් තුළ ඒ සමාජ ගැටලුවත් බොහෝ දුරට මැඬ පවත්වා තියෙනවා. 2022 වර්ෂයේදී වාර්තා වුණාට වඩා බෙහෙවින් අඩු ගණනක් දැන් ඒ අතින් තියෙන්නේ. බොහෝ වීදි දරුවන්, මවුපිය රැකවරණය අහිමි ළමුන් පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔවුන් රැකවරණ මධ්‍යස්ථානවලට යොමු කිරීමට අපට හැකිවී තියෙනවා. පවුල් ආරවුල් නිසා දරුවන් එක්ක මහමඟට බැසගත් කාන්තාවන්ට මඟතොටදී තවත් දරුණු ඛේදවාචකවලට මුහුණ දීමට සිදුවී තිබුණා. මෑතකදී වයස අවුරුදු 13ක දියණියත් සමඟ පවුල් ආරවුල් හේතුවෙන් රඹුක්කන සිට කොළඹ පැමිණි මවක්, වෙරළබඩ ප්‍රදේශයක එළිමහනේ දින 5ක් තිස්සේ නැවතී සිටිමින්, සනීපාරක්ෂක පහසුකම්වත් නැතිව ගෙවූ ඛේදජනක ජීවිතය කෙළවර කර, ඔවුන් වේදනා විඳි, සමේ රෝග සඳහා රෝහල් ගත කර ප්‍රතිකාර දීමටත් පොලිසියට මැදිහත් වීමට සිදු වුණා. ඒ වගේ, පොලිසියෙන් ජනතාව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට සහායත් බලාපොරොත්තු වන අවස්ථා තියෙනවා. ජනතාවට පවුල් ආරවුල් ආදිය නිසා දරුවන් සමඟ අනාරක්ෂිතව ජීවත් වන තැනැත්තන් පිළිබඳ පොලිසිය දැනුම්වත් කළ විට අපි ඊට නිසි පියවර ගන්නවා.

වියපත් මවුපියන්ට නොසැලකීම, පලවා හැරීම ගැනත් මාධ්‍ය වාර්තා පළ වෙනවා නේද?

වැඩිහිටි ආඥා පනත ආදියට අනුව පොලිසිය එවැනි අවස්ථාවලදී කටයුතු කරනවා. එසේම, රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කිරීම්, රැකවරණ මධ්‍යස්ථාන කරා යොමු කිරීමට මැදිහත් වීම් කරනවා. ඒ අතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සමාජ සේවා නිලධාරින් ආදින් කටයුතු කරනවා. සමාජ සේවා නිලධාරින් දීප ව්‍යාප්ත මට්ටමෙන් එහිලා නඩු පැවරීම් දක්වාම කටයුතු කරනවා. ඒ කෙසේ වෙතත්, පොලිසියට එවැනි සිද්ධි නිරීක්ෂණය වූ විට හෝ පැමිණිලි ලැබුණු විට හැකි උපරිමයෙන් මැදිහත් වීම් කරනවා.

ඔය වැනි සියලු දෙයට මානව, භෞතික සම්පත් ප්‍රමාණවත්ද?

අඩුවක් තිබුණත් සිටින නිලධාරින් උපරිම සේවයක් ඉටු කරනවා. අනෙක, ජනාධිපතිතුමන්ගේ, පොලිස්පතිතුමන්ගේ උපදෙස් අනුව දිවයින පුරා ළමා හා කාන්තා කාර්යාංශ සඳහා පහසුකම් වැඩි කිරීමේ නිරතව සිටිනවා. නව පොලිස්පතිවරයා පත්වූ දින සිටම සුවිශේෂී අවධානයක් මේ අංශයට යොමු කරනවා. මානව, භෞතික සම්පත් වැඩි කරමින්, මේ අංශයේ රාජකාරි කරන නිලධාරින්ට පුහුණුවීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ පවත්වමින් කාර්යක්ෂමතාව, ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කෙරෙනවා. කොට්ඨාස භාර නිලධාරින් පත් කරමින්, ඒ සඳහා රථවාහන, තාක්ෂණික පහසුකම් සලසමින් මේ අංශයෙන් වැඩි මහජන සේවාවක් ඉටු කිරීමට හැකි වාතාවරණයක් පොලිස්පතිවරයා ඇති කර තියෙනවා.

දැනුම්වත් කිරීම් හරහා නිවාරණය ඉතා වැදගත් නේද?

ඔව්. ඒ කටයුතු අඛණ්ඩව කෙරෙනවා. පාසල් මට්ටම ඇතුළු සමාජයීය වශයෙන් විවිධ පිරිස් කරා සාමකාමී, සෙනෙහෙබර පවුලක අගය වටහා දීමට පොලිසිය කටයුතු කරනවා. දිවයින සපුරා පොලිස් කොට්ඨාස 45දීම එම වැඩසටහන් ක්‍රියාත්මකයි. බාලවයස්කරුවන් අතුරෙන් ගැබ් ගැනීම්, දූෂ්‍ය වීම්, දිවිනසා ගැනීම් ආදී සමාජ ගැටලු ඇති වීම වළක්වා ගත හැකියි. විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතයේදී පරෙස්සම් විය යුතු තැන් පිළිබඳ මෙහිදී දරුවන් දැනුම්වත් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ හා පුද්ගලික ආයතනවල සහාය එහිදී ලැබෙනවා. මේ වෙනුවෙන් විශාල වැඩ කොටසකට දායක වන්නට ලැබීම මං භාග්‍යයක් කොට සලකනවා. ඒ ගැන නිහතමානි සතුටක් තියෙනවා.

තවදුරටත් සමාජයට පණිවුඩයක් දෙනවා නම්?

තවමත් අපේ සමාජයේ සමහරු වින්දිතයන්ව අපහසුතාවට පත් කිරීමේ නිරතව සිටිනවා. ඒත් ඒක උගත්, බුද්ධිමත් ශිෂ්ට සම්පන්න සමාජයකට සුදුසු දෙයක් නෙවෙයිනේ. ඒ ආකල්ප වෙනස් කිරීමට කටයුතු කිරීම වැදගත්. හැබැයි පොලිසියට එය තනිව කළ නොහැකියි. සමාජයේ කාගේත් සහාය අවශ්‍යයි. පාසල් පද්ධතිය තුළදී ඒ ගැන ලබන දැනුම, අවබෝධය ඒ තැනැත්තන් වැඩිහිටියන් වශයෙන් මහා සමාජයට ගිය විට ක්‍රියාවට නංවනවා. ආදර්ශයෙන්ම එය සමාජගත වීම ඉතා වැදගත්.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය-රංජිත් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT