Home » කන්දෙකුඹුර වැසියෝ ගබඩා ටැංකියක් ඉදිකර ජලය ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලති
කන්දෙන් එන දිය පොදකින් හෝස් බට යොදා පවස නිවාගන්නා

කන්දෙකුඹුර වැසියෝ ගබඩා ටැංකියක් ඉදිකර ජලය ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලති

by sachintha
April 18, 2024 1:47 am 0 comment

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බල්ලකෙටුව, කන්දෙකුඹුර ගම් ප්‍රදේශයට පවතින උග්‍ර පානීය ජල හිඟය නිසා එම ගම්වාසී පවුල් හතළිහක් පමණ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර, ගම්මානයට මීටර් පන්සියයක පමණ දුරකින් ගලායන අපිරිසිදු කුඩා දිය කඳුරකින් පානීය ජලය ලබා ගැනීමට ඔවුනට සිදුව තිබේ.

මෙම ගම්මානයේ පදිංචිව සිටින අඩු ආදායම්ලාභී හා ඉතාමත්ම දිළිඳු පවුල්වල සාමාජික සාමාජිකාවෝ එකසිය විස්සක් පමණ දෙනා මෙම ජල හිඟයෙන් පීඩා විඳින අතර, තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳව ඔවුහු මෙසේ අදහස් දැක්වූහ.

නයනා කුමාරි මහත්මිය,

කන්දෙකුඹුර කියන්නේ දුෂ්කර ගම්මානයක්. කිසි පහසුකමක් නෑ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය බොන්න පිරිසිදු වතුර ටිකක් නැතිකම. ගමේ හැමෝම වගේ බීමට වතුර ගන්නේ මේ ගෙවල්වල සිට මීටර් පන්සීයක් විතර දුරින් තියෙන දිය කඳුරේ ගලන වතුරට හෝස් බට තියලයි. පාසල් යන ළමයින් වගේම වැඩිහිටි අයත් මේ නිසා ලොකු දුකක් විඳිනවා. ඉතින් අපි ඉල්ලන්නේ කඳුරේ එන වතුර ටිකට හෝ ගබඩා ටැංකියක් ඉදිකරලා එයින් බට යොදා අපට බීමට වතුර ටික අරන් දෙන්න කියලයි.

ඩබ්.එම්. සම්පත් මහතා,

මේ ගම් ප්‍රදේශයේ පවතින දුෂ්කරතාවයත් එක්ක මේ මිනිස්සුන්ට ජීවත් වීමට ලොකු වෙහෙසක් දරන්න වෙලා තිබෙනවා. ජල හිඟය නිසා ඒ ප්‍රශ්න තවත් උග්‍රවෙලා. අපේ ගමට පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා නොයෙක්වර අදාළ බලධාරීන් හා දේශපාලන නායකයින් දැනුවත් කළත් කිසි කෙනෙක් මෙතෙක් ඒ ගැන අවධානයක් යොමුකළේ නෑ. ගබඩා ටැංකියක් හදලා වතුර පුරවගෙන බට යොදා වතුර ගන්න තරම් අපට ආර්ථිකයක් නෑ. ඒ නිසා අපි දැනට වතුර ගන්නා ජල උල්පත ආශ්‍රිතව ගබඩා ටැංකියක් ඉදිකර එමඟින් හෝ ගම්මානයේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න කියලයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ආර්.එම්. ඉන්ද්‍රාණි කුමාරි මහත්මිය:

මේ ගමේ හැමෝම වගේ බීමට වතුර ගන්නා දිය කඳුර ඉතා අපිරිසිදුයි. වැහි කාලෙට මඩ වෙනවා. තද පෑවිල්ලට සමහර විට දියපාර හිඳෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. නාන්න රෙදි සෝදන්න ළමයිනුත් අරගෙන කිලෝමීටර් තුනක් විතර ඈතින් තියෙන කිරිඳි ඔයට යනවා. ඒත් එච්චර දුරකින් බොන්න වතුර ගේන්නේ කොහොමද. ඒ නිසා වෙනත් ජල ව්‍යාපෘතියකින් අපට පිරිසිදු ජලය ලබාදීමට බැරිනම් මේ දිය කඳුරේ වතුර ටික හරි පිරිසිදුව ගන්න පුළුවන් වෙන්න ජල ව්‍යාපෘතියක් ඉදිකර දෙන්න කියලයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ.

ඩබ්.එම්. පියසේන මහතා,

අපි ගොඩක් දුප්පත් මිනිස්සු. ඒත් අපි ආණ්ඩුවෙන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නෑ. බොන්න වතුර ටිකක් තමයි අපි ඉල්ලන්නේ. මේ කඳුරෙන් වතුර ගත්තට පෑවිල්ල කාලෙට ඒකත් මදි. සමහරු උඩහින් රෙස්ට්හවුස් හදාගෙන මේ වතුර එන උල්පතේ වතුර ටිකත් ගන්නවා. ඒ අයට වගේ මෝටර් දාල බට දාලා වතුර ගන්න අපට හයියක් නෑ. ඒ නිසා අපට දුකක් නැතිව වතුර ටිකක් බොන්න ක්‍රමයක් හදා දෙනවානම් ලොකු පිනක්.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT