Thursday, May 2, 2024
Home » නිර්මාණාත්මක ගී අකුර කරුණාරත්න අබේසේකර

නිර්මාණාත්මක ගී අකුර කරුණාරත්න අබේසේකර

by sachintha
April 19, 2024 2:26 am 0 comment

කරුණාරත්න අබේසේකර 40වන ගුණානුස්මරණය නිමිත්තෙනි

කරුණාරත්න අබේසේකර සූරීන් අභාවප්‍රාප්තව, අප්‍රේල් 20 වන දිනට 40 වසරක් සපිරේ. ඒ නිමිති කරගෙන, එතුමන්ගේ චරිතාපදානය සහ එතුමන් වෙතින් ගුවන් විදුලි හා චිත්‍රපට ගීත කලාවට ඉටුවූ සුවිසල් මෙහෙවර පිළිබඳව විමසා බලන්නට ම’සිත් යොමුවූයේ නිරායාසයෙනි. එවන් අරමුණකින් ලියැවෙන මෙම ලිපිය, එතුමන් වෙතින් නිරතුරු වහනය වූ ලැවන්ඩර් බ්‍රිලියන්ට් හෙයා ක්‍රීම් සුවඳක් පිළිබඳව සිහිපත් කිරීමකින් ආරම්භ කළේ මන්ද යන කුකුස පාඨකයන් තුළ ඇතිවනු නිසැකය. එතුමන්ගේ ජීවමාන රූපකාය, ඔහුගේ සමකාලීනයන්ගේ මනසට වඩාත් සමීප වන්නේ ඔහුගේ වතින් නිබඳවම නිකුත් එම ජීවන සුගන්දයත් සමඟ වන නිසා, මෙම අනුස්මරණ ලිපිය ඒ අයුරින් අරඹන්නට ම’සිත යොමු විය.

මාතර, බඹරැන්දේ පෝසතුගොඩ, රත්මලේ ගැමි ගෙදරක ප්‍රේමවතී සහ පොඩිඅප්පුහාමි අබේසේකර යුවළගේ වැඩිමහල් දරුවා ලෙසින් කරු ජන්මය ලබන්නේ 1930 වසරේ ජුනි 03 වන දිනය. මාපියන් විසින් මේ බිලිඳාට “කරුණාදාස” යන නාමය උප්පැන්නයට එක් කරනු ලැබිණි. පියා සුළු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. මාලිගාකන්ද රජයේ පාසල කරුගේ මුල්ම පාසල සේ සැලකේ. අනතුරුව නාලන්ද විද්‍යාලයේ සිප් සතර හැදෑරීමේ භාග්‍ය කරු වෙත උදාවේ. පාසල් වියේදී ඔහු ඉගෙනීමට මෙන්ම කාව්‍ය ප්‍රබන්ධයට හා කථිකත්වයට ද දක්ෂයෙක් විය. “සිරි අයියා” නමින් ගුවන්විදුලියේ “ළමා තීරය” මෙහෙය වූ, යු.එස්.ඒ. පෙරේරා මහතා මෙම යුගයේ නාලන්දාවේ ගුරු වෘත්තියෙහි නිරත වී සිටීම, කරුගේ ජීවන දිශානතිය වෙනස් කිරීමට බලාත්මකවූ සාධකයක් සේ සැලකේ. කරුණාදාස සිසුවා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයට පිවිසෙන්නේ සිරි අයියාගේ මඟ පෙන්වීම මතය. එහිදී ඔහුගේ නිර්මාණ ශක්තිය කදිමට ඔප මට්ටම් වේ; 1942 වසරේ, එනම් සිය 12 වන වියේ සිට ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කරුණාරත්න අබේසේකර යන නමිනි.

කරු ඉගෙනීමට අති දක්ෂයකු වුවද පවුලේ අයහපත් ආර්ථික තත්ත්වය ඔහුගේ උසස් අධ්‍යාපන මං පෙත අවුරාලු කඩුල්ලක් විය. මාපියන් මෙන්ම තමාට බාල ගුණරත්න, ගාමිණී, දයා, සුසන්ත, කීර්ති, රංජන යන සහෝදරයන් හයදෙනා සහ සීතා, සුජාතා යන සහෝදරියන් දෙදෙනාත් පෝෂණය කිරීමේ වගකීම කරු වෙත පැවරී තිබිණි. ඔහු යායුතු මඟ දෛවය විසින් මැනවින් සැලසුම් කර තිබුණු සෙයකි. ඔහුට ගුවන්විදුලියේ දොර විවර වන්නේ, තාවකාලික නිවේදක තනතුරක් ද ලබා දෙමිනි.

වරක් කරු අයියා ගුවන්විදුලි භෝජනාගාරයේ තේ පානය කරමින් සුහඳ පිළිසඳරක යෙදී සිටි අවස්ථාවක පැවසූ කරුණක් මෙහිදී මගේ මතකයට නැඟේ. “ මල්ලි මම සහන නිවේදකයෙක් ලෙස මුලින්ම ගුවන්විදුලියට බැඳුණු දවස්වල අපේ වැටුප දිනකට ශත දහයයි.” යනුවෙන් පැවසුවේ අප මහත් විමතියට පත් කරමිණි.

චතුර කථිකත්වය හා ලගන්නා සුළු වදන් හැසිරවීමේ නිපුණතාව නිසා ඉතා කෙටි කලකින් ඔහු ශ්‍රාවකයින් අතර, මහත් ප්‍රසාදයට පත් විය. 1952 අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ අවමඟුල් විස්තර ප්‍රචාරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවූයේ ද කරු වෙතය. බණ්ඩාරනායක අගමැතිතුමාගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පාර්ලිමේන්තුවේ සිට හොරගොල්ල පරිශ්‍රය තෙක් ගෙනයාමේ අවස්ථාව කරු තම සිහින් සෝබරිත හඬින් නිවේදනය කළේ ගුවන්විදුලි ශ්‍රාවකයන් නෙතඟට කඳුළු බිඳු මතු කරමිනි.

ගුවන්විදුලියේ ප්‍රථම සිංහල ක්‍රිකට් විස්තර විචාරකයා වීමේ ගෞරවය ද කරුණාරත්න අබේසේකරයන්ට හිමිවේ. එවකට පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අසන්නන් සිත් හි වාග් චිත්‍රයක් සිත්තම් කිරීමට ක්‍රිකට් පාරිභාෂික වචන මාලාවක් නොවීය. නව වචන සමුදායක් ක්‍රිකට් විස්තර ප්‍රචාරයට හඳුන්වාදීමට කරුණාරත්න අබේසේකරයන් පුරෝගාමී විය. ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පැතිකඩ විස්තර කිරීම පිණිස වර්තමානයෙහි ද භාවිතා වන්නේ කරු හඳුන්වා දුන් පාරිභාෂික වදන් මාලාව වේ.

කරු අතින් පබැදුණු මුල්ම ගීතය “අනුරාපුරේ මේ නීල ජල ධාරා” තමා හා එකම පන්තියේ අකුරු කළ රවීන්ද්‍ර රූපසේනයන්ට ගායනය පිණිස ලබාදුන් බැව් පැවසේ.

ඔහුගේ ජීවිත කාලය තුළ, ඔහු ගුවන්විදුලි සහ චිත්‍රපට ගීත පද මාලා 2000කට අධික ප්‍රමාණයක් නිර්මාණ කර ඇත. සතතාභ්‍යාසය මෙන්ම බස හා කාව්‍යාලංකාර පිළිබඳ ඔහු තුළ නිසඟයෙන් පිහිටි පුළුල් දැනුම කරුගේ ගීත නිර්මාණ ඇසුරෙන් උද්වහනය වේ.

කරු ගීත බොහොමයක් නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපටවලින් ලබා ගත් දෙමළ සහ හින්දි ගීතයන්හී තනුවලට අනුගතවය. අදාළ තනුව සමඟ මැනවින් ගැළපෙන සුමට, සුගම වදන් මාලාවක් තෝරා ගැනීමට හෙතෙම දක්වා ඇති කුසලතාව අතිමහත්ය. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනවාට වඩා හින්දි තනුවකට අනුගතව, එම ගීතයේ පද මාලාවට බෙහෙවින්ම සමීප සිංහල වදන් මාලාවක් ඉතා සියුම් ලෙස යොදා ගැනීම එතරම් සුගම පහසු කටයුත්තක් නොවේ. කරු අනුකාරක ගීත පමණක් නොව ස්වතන්ත්‍ර, ප්‍රතිභා පූර්ණ ගීත රාශියක් ද සිංහල ගීත වංශයට දායාද කළ සාහිත්‍ය වේදියෙකි. “හෙළ ජාතික අභිමානේ” බිලිඳා නැළවේ උකුලේ,- “බුදු සාමිණී” – “ඉපිද මැරේ යළි ඉපදේ” වන් භාවපූර්ණ ගීත රාශිය තුළින් ඔහුගේ කුශාග්‍ර ප්‍රතිභා ශක්තිය ප්‍රකට කෙරේ.

ඔහුගේ ගීත බොහොමයක් සජීවීමත් කිරීමේ භාග්‍ය හිමිවනේ එච්.ආර්. ජෝතිපාල සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සංවේදී ගායකයින් දෙපළ වෙතය. ඔහුගේ ගීතවලින් වැඩි ප්‍රමාණයක් ලියැවී ඇත්තේ, තම හද ස්පර්ශිත ආදරය, දුක, වියෝව සන්තාපය වන් තේමා මුල් කරගෙනය. කරුගේ පද මාලා තාරුණ්‍යයේ සිත් උමතු කරනා සුළුය.

“ඇස රැඳුණු රැඳුණු තැන…”- “දෙතුන් වතාවක්…” – “ හිනැහෙන්න මට ඉගැන්වූ…” – “කියන්න කවුද ඔබ කියා…- “ ඔබ තරමට මා නැළවූ…” – “සුරැකීමට හෝ…” – “ ජීව වේදනා…”- “මධු මල ලෙස මුදු…”වන් කරු අතින් පබැදුණු රසාලිප්ත ගී සමුච්චය, විශේෂයෙන් එවකට යොවුන් වියේ පසුවූ, වර්තමානයේ වියපත් රසිකයින්ගේ සිත් සතන් මහත් අමානන්දනයෙන් ඔද වඩනා සුළුය. කරුගේ සංකල්පමය ප්‍රේම ගීතයන්හි ඇතැම් භාවාත්මක සොඳුරු ගී පද පේලි එකල ආදරවන්තයින්ගේ පෙම් හසුන් ආරම්භයේ ලියවෙන සිරස්තල ලෙසින් යොදාගත් අයුරු අප අත්දැකීමෙන්ම දනිමු.

කරු චිත්‍රපට 32ක් සඳහා ගීත දෙසිය ගණනකට ආසන්න පද මාලා නිර්මාණය කර ඇත.මුලින්ම කරු චිත්‍රපටයක් සඳහා තම ගීත නිබන්ධන දායකත්වය ලබා දෙන්නේ 1955 වසරේදී තිර ගතවූ “වරද කාගේද” චිත්‍රපටය සඳහාය. “දලු ලා ප්‍රේම ගසේ”, පියළී කැඩිලා වැටුණා නෑඹුල් සමන් මලේ” වන් ජනප්‍රිය ගීත කිහිපයක් කරු මෙම සිනිමා පටය වෙනුවෙන් නිර්මාණය කළේය.

කරු පහත දැක්වෙන චිත්‍රපට සඳහා නිර්මාණය කළ ගීත අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය. “ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ” පෙර දිග මුතු ඇටයයි…’- දෙයියන්ගේ රටේ චිත්‍රපටයේ “හිම බිම පාලන සුරිඳේ…” – කුරුලු බැද්ද චිත්‍රපටයේ “ඔය බැල්ම ඔය කැල්ම …” වන් කරු නිර්මාණය කළ චිත්‍රපට ගී අද දවසේ පවා රසිකයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍රවේ.

“ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ”

කරු අතින් නිර්මාණයවූ භාව පූර්ණ මෙම ගීතයෙන් කරුගේ ප්‍රතිභා ශක්තිය මොනවට ප්‍රකට කෙරේ. එඩ්වින් සමරදිවාකරයන්ගේ තනුවකට, පණ්ඩිත අමරදේව සූරීන් ගයන යථෝක්ත ගීතය, කරු නිර්මාණය කළේ දස්කම චිත්‍රපටිය වෙනුවෙනි.

“අද පමණක් නොවේ අපට හෙටක් ති‍ෙයනවා…

අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා…”

ඉහත ආත්මය චිත්‍රපටය වෙනුවෙන්, ශ්‍රාවකයින් තුළ ජාතික අභිමානය අවදි කරමින් නන්දා මාලිනිය ගයන මෙම ප්‍රබුද්ධ ගීතයෙහි පද මාලාව ලියවෙන්නේ ද කරු අතිනි. ඔහු විසින් නිර්මාණය කරන ලද මෙවන් ප්‍රතිභා පූර්ණ ගීත වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සරසවි සම්මානයෙන් හේ පිදුම් ලැබීය. කරුණාරත්න අබේසේකර සූරීන් නිවේදකයෙක් සහ ගීත නිබන්ධකයෙක් ලෙසින් ගුවන්විදුලිය වෙනුවෙන් ඉටු කළ ප්‍රශස්ත මෙහෙවර ස්මරණය පිණිස, මීට වසර කිහිපයකට පෙර, ගුවන්විදුලියේ 05 වන මැදිරිය ඔහුගේ නමින් නම් කර එතුමන්ට උපහාර දැක්වීම පැසසුම් කටයුතුය.

ළමා ගීත සාහිත්‍ය සම්ප්‍රදායක් බිහිකරන්නට පුරෝගාමී වූ සාහිත්‍යධරයෙක් ලෙසින් ද කරු ජාතියේ ඇගයීමට බඳුන් වේ. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘අපේ අම්මා කොළඹ ගිහිල්ලා’, ‘දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ’,‘අපෙ ඇඟිලි අතේ – එක වගේ නැතේ’, ‘පුංචි මමයි අම්මෙ ඔබේ රත්තරන් පුතා’, ’, ‘සුරතල් අපේ පෙනීලා – වන මල් කැලේ පිපීලා’ ආදී ගීත කරු අයියාගේ අතින් ළමා මණ්ඩපය පටිගත කෙරෙන ගුවන්විදුලි මැදිරිය තුළදීම සැණෙකින් නිර්මාණය කළ ජනප්‍රිය ළමා ප්‍රබන්ධයන් සේ සැලකේ.

කිසියම් සංකල්පනාවක් සිය මනසට පිවිසි සැණින්, ගීතයක් නිර්මාණය කිරීමේ සහජ හැකියාවකට ඔහු උරුමකම් කීවේය. ගුවන්විදුලියේ ළමා මණ්ඩපයේ ‘මිනි කිංකිණි’ වැඩසටහනට ලියූ මේ ගීය, මුල් වරට ගායනා කළේ වජිරා බාලසුරිය ළමා ගායිකාව විසිනි.

“අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි – දොයි දොයි දොයි කියාලා”

වියපත් වූවන් පවා ළමා වියට ගෙනයන සුළු, ළමා මනසට

මැනවින් ගෝචර වන බස් වහරක් යොදා ගැනීමට නිබන්ධකයා දක්වා ඇති සාමාර්ථය මෙම ළමා ගීතයෙන් කදිමට ද්වනිතා වේ.

කරුගේ ලයාන්විත කට හඬට පෙම් කළ රසිකයින් සුවිශාල පිරිස අතර එක් සුවිශේෂී යුවතියක් වූවාය. ඇය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියකවූ ඉරාණි හේරත් නම්වූ රසිකාවියයි. ඔහු ලියු ආදරයේ සුගන්ධය වහනය වන ගීත ශ්‍රවණයෙන් මන මෝහනයට පත්, ඔහුගේ දයාබරිත වාග් විලාශය කෙරෙහි පෙම් බැඳී ඉරාණියට කරු සියැසින් දැක ගැනීමේ නොතිත් ආශාව සපුරා ගන්නට ඇයගේ යෙහෙළියන්ගේ සහය ලැබිණි. ඇයට කරු මුලින්ම හමුවන්නේ චිත්‍රා සහ පී.එල්.ඒ. සෝමපාලගේ විවාහ මංගල උත්සවයෙදීය. එතැන් පටන් ඇරඹි කරු ඉරාණි ආදර සබැඳියාවට, ඉරාණිගේ මාපිය පාර්ශ්වයෙන් කිසිදු එකඟතාවයක් නොලැබිණි. ධනවත් පවුල් පසුබිමක් ඇති ඉරාණි, ධනවත් පවුලක තරුණයෙකුට විවාහ කරදීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පැවතිණි. ඒ අනුව පාසලින් අස්කර ගත් ඇයට දෙමාපියන්ගෙන් තහංචි ගණනාවක් පැනවිණි. ගුවන්විදුලියට සවන් දීම, දුරකතන කතාබහ, යෙහෙළියන් ඇසුර, නිවසින් බැහැරවයාම වන් තහංචි නිසා ඇයට සිය පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට අවකාශයක් නොවීය. ඇය සිය නිවසේ සිරකාරියක් බවට පත් වෙයි. අඩුම තරමින් දුරකතනයෙන් හෝ සිය පෙම්වතියගේ කටහඬවත් අසන්නට නොලැබීම නිසා එම කාලවකවානුවේ කරු දිවි ගත කළේ උමතු ස්වරූපයෙනි. ඔහු තම පෙම්වතියට පණිවිඩයක් යැවිය හැකි මඟක් පිළිබඳව සිතමින් ළතැවුලෙන් පසුවෙයි. මඳ විරාමයකින් ඔහු සිත්හි අපූර්වතම කාව්‍යමය සංකල්පනාවක් පිළිසිඳී, රසාලිප්ත ගීතයක් නිර්මාණය වෙයි.

“ එන්න මද නලේ – ගොස් පවසන්න දුක මගේ

යන්නට හැකි ඔබට පමණි – සිරගෙයට ඇගේ

තම පෙම්වතිය දැක ගැනීමට නොහැකිවීමෙන් ලතැවුලට පත් සෞන්දර්යවේදියා, තමන් අත්විඳි විරහ වේදනාව පොදු අත්දැකීමක් බවට පත් කිරීමට දක්වා ඇති ප්‍රතිභා චාතුර්ය අතිශයින් ම ප්‍රශස්තය. තිලකසිරි ප්‍රනාන්දු ගයන මෙම ගීතය තමන් දැඩි විරහ වේදනාවකින් පසුවූ මොහොතක ලියැවුන, තමන් අතිශයින් ම ප්‍රිය කරන ගීතය බැව් කරු අවස්ථා ගණනාවකදී පවසා ඇත.

ඉරාණිගේ මවගේ නිලී නම්වූ සහෝදරිය සෘජුව මැදිහත්ව ඉරාණියට කරු හා අතිනත ගන්නට මාපියන්ගේ එකඟතාවය ලබා දුන්නාය. පෙම් සබඳතාව ආරම්භවී වසර ගණනාවකට පසුව, 1959 නොවැම්බර් 30 වන දින ගාලු මුවදොර මහ හෝටලයේදී කරු හා ඉරාණි සියලු බාධක ජයගනිමින් විවාහ දිවියට ඇතුළත් වූහ.

විවාහ දිනයේ. (සරසවි පත්‍රයේ අනුග්‍රහයෙනි.)

විවාහයෙන් වසර කිහිපයක් ඉක්ම ගිය ද ඔවුනට දරු සුරතල් බැලීමට නොහැකි විය. එම පමාව ඔහු නව්‍ය ගීතයක් නිර්මාණයට යොමු කළ සෙයකි.

“අඩකී පිරිලා ඇත්තේ

රස මිහිරි මීවතේ

පුරවා දිය හැකි ඔබටයි

අඩු කොටස ජීවිතේ”

කරු යුවළගේ ප්‍රාර්ථනයන් සපුරමින් 1969 ජුනි 30 වෙනිදා, දිලීප ජගදීශ් අබේසේකර පුතු ඔවුනගේ සීගිරි නම්. කැදැල්ලෙහි ජන්මලාභය ලැබීය. මතු තම කීර්තිය හිමිකර ගන්නා, තම ළබැඳි පුතු නිදියහනේ සැතපෙනු දුටු කවින්ද්‍රයා සිත නිපන් භාවමය හැඟීම, පසු කලෙක සෞන්දර්යාත්මක ගීත නිර්මාණයක් ලෙසින් ශ්‍රාවක සවනට සමීප වෙයි.

“දිලීප පොඩි පුතු සනීපයට නිදි

මවගේ උකුළු යහනේ

කුමාරයාණනි මගේ කිරුළ හිමි

ජීවන රජ දහනේ…..”

කරු සිය බිරිඳ ඉරානී සහ පුතු දිලීප සමඟ

මෙපරිද්දෙන් සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කෙරෙහි කරු ලබාදුන් අනුපමේය දායකත්වය සුළුපටු නොවේ.

53 වන වියේදී, හදිසි හෘදයාබාධයකින් කරුණාරත්න අබේසේකර සාහිත්‍යධරයා 1983 අප්‍රේල් 20 දින සිය දැයෙන් සමුගත්තේ රසික ජනතා හදවත් දැඩි කම්පනයකට පත් කරවමිනි. කරුණාරත්න අබේසේකර සූරීන් වෙතින් සිංහල ගීත සාහිත්‍යට ඉටුවූ අමිල මෙහෙවර මෙන්ම ඔහුගේ ආකර්ෂණීය කට හඬ පිළිබඳ මතකය රසික සන්තානයන්හි යුග යුග නින්නාද වනු නිසැක.

ආචාර්ය ගාමිණී කාරියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT