Sunday, May 5, 2024
Home » සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ

සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ

by sachintha
April 26, 2024 1:15 am 0 comment

මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය.

රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය මේ සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

එකී වැඩපිළිවෙළ යටතේ රුහුණු විශ්වවිද්‍යාල සිසුන්ට ව්‍යවසායකත්වය පිළිබඳවත්, ඒ සඳහා ප්‍රායෝගිකව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී මාර්ගෝපදේශන සහ දැනුම දෙනු ලැබීය.

මෙහිදි අදහස් දක්වමින් ලංකා කාර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙලෙස පැවැසීය.

“කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධති කේන්ද්‍ර කරගෙන ව්‍යවසායකත්ව සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වගකීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට පැවරී තිබෙනවා. ඒ අනුව සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි මේ කර්මාන්ත ව්‍යවසායකත්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි මූලික පියවර රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආර්ථික විද්‍යා හා කෘෂි ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නවක සරසවි සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව වැඩමුළුව න්‍යායිකව සහ ප්‍රායෝගිකව ආරම්භ කළා.

මේ වැඩසටහන යටතේ කර්මාන්ත අංශයේ ව්‍යවසායකත්වයට අවශ්‍ය නිපුණතාවලින් ඔවුන් සන්නද්ධ කරමින්, ඔවුන්ගේ උපාධි අවශ්‍යතා සපුරාලීමට මේ වැඩසටහන නිර්මාණය කර තිබෙනවා. මෙයට ක්ෂේත්‍ර චාරිකාවක් ඇතුළු පුළුල් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මාලාවක සහභාගිවන්නන් නිරත කරනවා. මේ උපායමාර්ගික හවුල්කාරිත්වය ව්‍යවසායක කුසලතා පෝෂණය කිරීමට සහ අධ්‍යාපන විෂයමාලා සැබෑ ලෝකයේ කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගස්වාලීමේ සාමූහික උත්සාහයක්. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පූර්ණ දායකත්වය දෙමින් මේ රට ආර්ථිකය නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකත්වයෙන් සවිමත් කරනවා. මෙසේ ප්‍රායෝගික අත්දැකීම් සහිතව සිසුන් සවිබල ගැන්වීමෙන් සහ ව්‍යවසායකයන්ගේ සංස්කෘතිය පෝෂණය කිරීමෙන් මේ මුලපිරීම මෙරට කර්මාන්ත අංශයේ තිරසර වර්ධනයක් සහ සෞභාග්‍යයක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වෙනවා.”

මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. සමරකෝන්, ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT