Home » හෝමාගම කුඩු බෑ-ගැටුම් බෑ අධ්‍යාපන කේන්ද්‍රීය සාමකාමි නගරයක්

හෝමාගම කුඩු බෑ-ගැටුම් බෑ අධ්‍යාපන කේන්ද්‍රීය සාමකාමි නගරයක්

-හරිත විශ්වවිද්‍යාලයට පොලිස්පති කැඳවා ඇමැති බන්දුල සාකච්ඡා කරයි

by sachintha
March 28, 2024 1:01 am 0 comment

අධ්‍යාපන කේන්ද්‍රීය නගරයක් වූ හෝමාගම මත්ද්‍රව්‍යයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමි කලාපයක් විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

NSBM හරිත විශ්වවිද්‍යාලය ඇතුළුව පිටිපන සහ හෝමාගම සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක ගැටලු සහ එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමැතිවරයා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් NSBM හරිත විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී බන්දුල ගුණවර්ධන මහතා එසේ කියා සිටියේය.

එහිදී ප්‍රදේශයේ ආරක්ෂාවට සහ සාමකාමි ප්‍රදේශයක් ලෙස පවත්වාගැනීමට අදාළව පවතින විවිධ ගැටලු සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් යෝජනා රැසක් ඉදිරිපත්විය.

එමෙන්ම පවතින ඇතැම් ගැටලු නිරාකරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ ජනතාව ලෙස ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් කරුණු පැහැදිලි කරන ලදි.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ජයග්‍රහණයකදී ඊට පියවරුන් විශාල පිරිසක් සිටියත්, ගැටලුවක් ඇතිවූ අවස්ථාවේදී එය භාර ගැනීම සඳහා කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ. මීට දශක කීපයකට පෙර හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල පැවතුණේ සියලු අවශ්‍යතාවන් සඳහා කොළඹට ගමන් කළ යුතු තත්ත්වයක්. නගරයේ කිසිවෙකුත් ගමට පැමිණුනේ නැහැ. ඒ ඉතිහාසය වෙනස් කිරීම සඳහා වෙනම සංකල්පයකට අනුව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළා. එතෙක් කොළඹට සීමා වී පැවති ආර්ථික මධ්‍යස්ථානයක් පළමුවරට මීගොඩ ස්ථාපිත කළා. කොළඹ ජනප්‍රිය පාසල් සොයා ගිය දරුවන් වෙනුවෙන් පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආසියාවේ විශාලතම ද්විතීක පාසල ලෙස ස්ථාපිත කළා. තාක්ෂණ වේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් අධ්‍යාපනයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළා.

අද වන විට 100% රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශවත් හරිත විශ්වවිද්‍යාලයක් බවට NSBM විශ්වවිද්‍යාලයේ පත්ව තිබෙනවා. ඒ සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහාත් මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව හෝමාගම ප්‍රදේශය අනාගතයේදී වෛද්‍යවරුන් බිහි කරන භූමියක් බවට පත්වනු ඇති. ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩා විශ්වවිද්‍යාලය දියගම ඉදිකිරීමට නියමිතයි. මේ සියල්ල සමඟින් රට තුළ පවතින සුවිශේෂී අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට හෝමාගම පත්ව තිබෙනවා. මේ තත්ත්වය මත සිසුන් සිය දහස් ගණනක් අධ්‍යාපනය ලැබීමට පැමිණීමත් සමඟ බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග බිහි වී තිබෙනවා. මේ හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව රටේ ඕනෑම ප්‍රදේශයක කෙනකුට මේ මැතිවරණ කොට්ඨාසයට පැමිණීම සඳහා අවශ්‍ය පරිසරය සහ පසුබිම අප විසින් සකස් කළ යුතුයි. රටේ විවිධ ප්‍රදේශවල දරුවන් මෙම විශ්වවිද්‍යාලය වෙත යොමු කරන්නේ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමේ විශාල බලාපොරොත්තුවක් ද සහිතවයි. මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ දුරාචාරයන්ට ගොදුරු වීමෙන් මේ තරුණ පරපුරේ ජීවිත විනාශයට ලක්වුවහොත් ඒ වගකීමේ කොටසක් ප්‍රදේශවාසීන් ලෙස අපටද හිමිවනවා. කේන්ද්‍රීය අධ්‍යාපන නගරයක් වූ හෝමාගම මත්ද්‍රව්‍යයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමි කලාපයක් විය යුතුයි.

එම නිසා මවුපියන් වැඩිහිටියන් ලෙස ඒ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මේ ප්‍රදේශයට විශේෂ පොලිස් ස්ථානයක් පිහිටුවීම සඳහාද අනුමැතිය ලැබී තිබෙනවා. මේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව පොලිසියද විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව පවතිනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් සියලු දෙනාගේ ද සහයෝගය ලබා දිය යුතුයි. මේ සියල්ල සිදු කිරීම සඳහා ජනතාව විසින්ම ස්වයං ශික්ෂණයක් ඇති කරගත යුතුයි. ඒ තුළින් ප්‍රදේශයට ගමට මෙන්ම රටටද විශාල ජාතික මෙහෙවරක් ඉටු කළ හැකියි.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි,NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ. වීරසිංහ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහත්වරු, උසස් පොලිස් නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රදේශයේ නවාතැන් සහ නේවාසිකාගාර හිමියන්, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT