Saturday, April 27, 2024
Home » පතල් ජන සතුවෙන් දේශපාලනය ඇරඹූ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්මාතෘ – නිහාල් පෙරේරා සහෝදරයා

පතල් ජන සතුවෙන් දේශපාලනය ඇරඹූ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්මාතෘ – නිහාල් පෙරේරා සහෝදරයා

by sachintha
March 28, 2024 1:02 am 0 comment

(වර්ෂ 1994 මාර්තු 30 දා හදිසියේ පරලොව සැපත් නිහාල් පෙරේරා මහතා පිළිබඳ සමරු සටහනකි)

ඓතිහාසික කන්ද උඩරට වැලිමඩ ප්‍රදේශයේ ධනවත් වතු අධිකාරිවරයක්ය් වූ වික්ටර් පෙරේරා සහ ඩොර්කි පෙරේරා යුවළගේ වැඩිමහල් පුතු ලෙස ඔහු 1944 ජූනි 20 දින මෙලොවට බිහි විය. බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මේ රටේ පළමු වරලත් ගණකාධිකාරී විභාගයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා බෝගල මිනිරන් සමාගමේ ගණකාධිකාරී තනතුරට පත්වීමෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

වර්ෂ 1974දී කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ සිටි ටී.බී. සුබසිංහ මහතාගේ වැඩිමහල් දියණිය වූ සුවිනීතා සුබසිංහ සමඟ විවාහ විය.

අධ්‍යාපනය ලබන කාලයෙත් ව්‍යාපාර කටයුතුවලට එතරම් ඇල්මක් නොදක්වූ නිහාල් සහෝදරයා ධනපති ක්‍රමය කෙරෙහි දැඩි කලකිරීමක් දක්වූ අතර, මාක්ස්වාදී පොතපත කියවීමට හුරු වූවා පමණක් නොව, ඒ ගැන සිතන්නද පුරුදු වී සිටියේය. එය වඩාත් වර්ධනය වූයේ බෝගල මිනිරන් පතලේ ගණකාධිකාරි ලෙස කටයුතු කරන කාලයේය. පනහ හා හැට දශකවල ධනේශ්වර එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට මිනිරන් කර්මාන්තය තොටිල්ල විය. ශ්‍රීමත් ජෝන් කොතලාවල, සේනානායකවරු හා මැල්සේදිස් ආදි ශ්‍රී ලාංකික ධනවාදී පන්තියේ ප්‍රභූවරු මිනිරන් පතල් හිමිකරුවන් වූ අතර සිය දේශපාලන කටයුතු සඳහා එසේ උපයාගන්න මුදලින් විශාල ධනයක් වියදම් කරන්නට විය. එහෙත් කම්කරුවන් විඳින දුක් සහ මිනිරන්වලින් උපයන ධනස්කන්ධය එක් පුද්ගලයකු වටා සංකේන්ද්‍රණය වීමත් ගැන කලකිරුණු ඔහු එම අසාධාරණ තත්වයෙන් ඔවුන් මුදාගැනීමේ අප්‍රතිහත ධෛර්යයක යෙදුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1960 දශකයේ අගභාගයේදී පිහිටුවාගන්නා ලද එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළෙඳ සේවක සංගමය නම් වූ වෘත්තීය සමිතිය පෙන්වා දිය හැකිය. 1950 දශකයේ එන්.එම්. පෙරේරා සහෝදරයට ද ඉටු කරගැනීම දුෂ්කර වූ මේ කර්තව්‍යය සාර්ථක ලෙස මුදුන් පත් කරගත් ඔහු එපමණන්ද නොනැවතිණි.

1970 සමඟි පෙරමුණු රජය යටතේ බෝගල පතල රජයට අත්පත් කර ගැනීමෙන් අනතුරුව මිනිරන් සංස්ථාව පිහිටුවා ගන්න ලදි. පසුව කහටගහ, කොළොන්ගහ සහ මයිකා ව්‍යාපෘතියද ආරම්භ කළේය.

පසු කලෙක ඔහු ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් විය. හිටපු සභාපතිවරුන්ගේ ගාම්භීරත්වය වෙනුවට නිහතමානිකමින් සහ ආදර්ශවත් බැවින් ක්‍රියා කරන්න විය. ඉතා කෙටි කාලයකට සීමා වූ තම නිල කාලය තුළ ලිපිකරුවන්ගේ උසස්වීම් ක්‍රමයත් විශේෂයෙන්ම සෑහෙන කාලයක් ඇදෙමින් පැව‍ෙ සුළු සේවකයන්ගේ උසස්වීම් ක්‍රමයත් ඇති කර චක්‍රලේඛ මඟින් ප්‍රකාශයට පත් කොට වැඩි කලක් ගත වීමට පෙර එන්.එම්. පෙරේරා මහතා මුදල් ඇමැතිකමින් ඉවත් විය. ඒ සමගම නිහාල් සහෝදරයාද තම තනතුරින් ඉල්ලා අස් විය. එතැන් සිට ඔහු තම ජීවිත කාලයම කැප කළේ නිර්ධන පන්ති පීඩිත පන්ති අරගලය වෙනුවෙනි. සියලු වමේ දේශපාලන පක්ෂ සමඟද සුභවාදී ආකල්පයකින් ඔහු කටයුතු කළේය.

රටක ජීවනාලිය බඳු තරුණ පරපුර පිළිබඳ දැඩි අවධානයකින් සිටි ඔහු විවිධ රැකියාවල නියුතු සහ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා තරුණයන් රැස්කොට ඔවුන්ගේ ශක්තිය රටට හඬගා පෙන්වමින් ඔවුන්ට මුහුණ පාන්න සිදු වන විරැකියාව, අධ්‍යානපන, ඇතුළු දහසකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට “තරුණ ශක්ති” සංවිධානය හා එනමින්ම සඟරාවක්ද ආරම්භ කර එහි ආරම්භක සභාපති හැටියට කටයුතු කළේය. 1985 පෙබරවාරි 13 දා සංශෝධිත විශ්වවිද්යාතල පනත හා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව සරසවි සිසුන් ගෙනගිය සටනට නායකත්වය දෙමින් කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට දියත් කළ මහජන උද්ඝෝෂණයේදී නිහල් පෙරේරා මහතා වියරු වැටුණු පොලීසියේ අමානුෂික ප්‍රහාරයට ලක්විය. මෙරට දහසක් වධ වේදනා විඳිමින් නියමිත වැටුපක් පවා නොලැබ දුක් විඳින කම්කරු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් මහත වූ දයානුකම්පාවකින් හා කරුණාවකින් නිහාල් මහතා නිරත සේවය කළේය. කම්කරුවන්ට හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන්, පලිගැනීම් හා නොයෙකුත් අකටයුතු නොඉවසවූ ඔහු කම්කරුවන්ගේ අයිතිවාසකම් රැකගැනීමට උසාවි ගානේ රස්තියාදු වෙමින් සිය ගණනක් නඩු කීවේය.

කොළඹ මහවැලි අමාත්‍යාංශය වට කොට 1985 සැප්තැම්බර් 11 දින පැවැත්වූ දැවැන්ත ගොවි කම්කරු උද්ඝෝෂණයේදී දේශ විමුක්ති ජනතා පක්ෂය බිහි කළ නිහාල් මහතා ජනතාවගේ පොදු හා ප්‍රධාන සතුරු බලවේගවලට විරුද්ධව සියලු පක්ෂවල සමගියට පුරෝගාමී මෙහෙයක් ඔහු මිය යන තෙක්ම ඉටු කළේය.

ශ්‍රී ලාංකික පොදු ජන අරගලයේ පෙර ගමන්කරුවකු මෙන්ම ලෝ පුරා ජාතික විමුක්ති අරගලවල සැබෑ මිතුරකු හා අචල නිර්ධන පන්ති විප්ලවවාදියකු ලෙසත්, ජාත්‍යන්තරවාදියකු ලෙසත් හැඳින්විය හැකි ඔහු ජාත්‍යන්තර අර්බුධ පිළිබඳ මෙන්ම පවතින ලෝක තත්ත්වය පිළිබඳවත් දැඩි විමසිල්ලෙන් සිටිය කෙනෙකි. දිවංගත නිහාල් පෙරේරා මහතාට අමා මහ නිවන් සුව ලැබේවා!

දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති,

කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී

ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT