Home » මහාචාර්ය චන්න ජයසුමනට සභාපති ධුරයක්

මහාචාර්ය චන්න ජයසුමනට සභාපති ධුරයක්

by chanaka
April 26, 2024 3:08 pm 0 comment

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.

එම සංසදය සදහා නව නිලධාරී මඩුල්ලක් තෝරා පත්කරගැනීම සදහා 2024.04.25 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති මංගල රැස්වීමේදී මෙම තෝරා පත්කර ගැනීම සිදුවිය.

එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ යන මහත්වරු තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහූ තේරී පත්වූහ.

තවද සංසදයේ සම කැඳවුම්කරුවන් ලෙස වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ද තේරී පත්වූහ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ අභිනව සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. එසේම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ නව සභාපතිවරයා එම තනතුරට වෛද්‍යවරයෙකු පත්වීම පිළිබඳව සතුටු වන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින මෙරට සෞඛ්‍ය අංශයේ උන්නතිය සදහා පක්ෂ පාට භේදයකින් තොරව මෙම සංසදයට මැදිහත්විය හැකි බවයි. ලෝකයේ විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවන් සපයන රටවල් අතර ඉදිරියෙන්ම සිටින මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා අයවැයෙන් වෙන් කරන මුදල තවත් වැඩි කර ගැනිමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT