Saturday, April 27, 2024
Home » ඥානසාර හිමි බරපතළ වැඩ ඇතිව වසර 4ක් හිරේට
ආගමික සමඟිය කඩ කිරීමේ චෝදනාවට

ඥානසාර හිමි බරපතළ වැඩ ඇතිව වසර 4ක් හිරේට

කොළඹ මහාධිකරණය තීන්දු කරයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

– ලක්ෂයක දඩයක් නොගෙවුවොත් තව වසර දෙකක සිර දඬුවමක්

කූරගල විහාරස්ථානය සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමඟිය කඩ කිරීමේ චෝදනා දෙකකට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ වෙනුවෙන් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් විත්තිකාර හිමියන්ට ඊයේ (28) නියම කළේය.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම වූ අතර එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට නියම කෙරිණ.

එසේම එක් එක් චෝදනාවට රුපියල් පනස්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කරන ලදි.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් තවත් වසර දෙකක සිර දඬුවමක් ද නියම කෙරිණ.

සිද්ධියට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 296 (b) වන වගන්තිය අනුව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම සිර දඬුවම් පනවනු ලැබීය.

එහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

එසේම එම ප්‍රකාශය සිතාමතාම සිදු කර ඇති බව නඩු විභාගයේදී පෙනී යන බවත් එය අහම්බයකින් කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකි බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම සිද්ධිය සිදු වන විට රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමියන් විසින් අදාළ ප්‍රකාශය සිදු කළ බවය.

එහිදී සිය තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමඟියට බාධා සිදුවන බවය. තීන්දුවෙන් අතෘප්තියට පත් වන්නේ නම් ඊට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමේ අවස්ථාව විත්තිකරුට ඇති බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ආගමික නායකයකුට සමඟිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති අතර විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැරි බව විනිසුරුවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී 2016 වසරේ නොවැම්බර් 01 සහ දෙසැම්බර් 16 අතර කාලයේදී දිනයකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීම මඟින් ආගම් අතර අසමඟිය ඇති වන ආකාරයෙන් කටයුතු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සහ අසාත් සාලි යන මහත්වරුන් විසින් පැමිණිලි කර තිබිණි.

එම පැමිල්ලකට අනුව අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරන ලදි.

රජයේ නීතිඥ ලක්මාලි දිසානායක නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

චන්දන ජය­වීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT