Home » අධ්‍යාපන-සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබන්න බෑ

අධ්‍යාපන-සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබන්න බෑ

‘ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනතා අයිතියට පවරමින් ජනපති කියයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment
ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අයුරු

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදි කරන ලද ‘ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට පෙරේදා (27) පෙරවරුවේ එක් වෙමිනි.

මහල් හයකින් යුත් මේ රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර, අපජලය පිරිසිදු කර මුදාහැරිමේ ඒකකයකින්ද යුක්තය.

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදු වූ හානිය සියැසින් දැකගැනීමෙන් අනතුරුව මේ නව මාතෘ රෝහල පිරිනැමීම සඳහා ඉදිරිපත් විය. රෝහල ඉදි කිරීම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන 25කි (රුපියල් කෝටි 357කි). මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් 800ක් වුවද, පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබාගැනීම සිදු වූ අතර, මේ වන විට රෝහලේ සමස්ත භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්නය.

නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණයටද එක් විය. ජර්මානු රජයෙන් ලැබුණු මේ පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“එදා අපේ වෛද්‍යවරුන්ට සිදු වුණේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමටයි. එහෙත් දැන් වැඩිහිටි ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යෑම සහ විවිධ රෝග ඇති වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වැඩි වී තිබෙනවා. ඒ නිසා ඊට අනුරූපිව සෞඛ්‍ය සේවාවද පරිවර්තනය විය යුතුයි. ඒ වගේම මෙරට අධ්‍යාපන ක්‍රමයද පරිවර්තනයකට ලක් විය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා මෙතෙක් වැය කෙරුණු ප්‍රාග්ධන මුදල් සීමා සහිත වුණා. එදා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යෙදවුණේ නැහැ. ඊට හේතුව යුද්ධයට විශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමයි.

“මා අධ්‍යාපනය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 1980-89 සමයේ අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරගැනීමට කටයුතු කළා. එහෙත් පසුව විවිධ හේතු නිසා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. අප ඉදිරියේදී මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල නවීකරණයක් නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකියි. 30 දශකයේ අප දියුණුවක් ලැබුයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබු දියුණුව නිසයි. ඒ වගේම 80 දශකයේ අප ඉදිරියට ගියේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නිසයි. අද ශ්‍රී ලංකාව තුළ පමණක් නොවෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමයද ක්‍රියාත්මක වන්නේ අපේ වෛද්‍ය සේවාවන් නිසා. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශය වෙනුවෙන් අවශ්‍ය මුදල් අපම උපයාගනිමින් එම ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරමු කියා මම ප්‍රකාශ කරනවා.”

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

“මා 2010 වසරේ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණෙන විට සිහින දෙකක් තිබුණා. සුනාමියෙන් විපතට පත් ගාල්ලේ බස් නැවතුම්පොළ යළි සකස් කිරීම සහ එවකට වැඩ නැවතී තිබූ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ඉදි කරගැනීම ඒ සිහින දෙකයි. 2010 වසරේදී ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදි කරගැනීමට හැකි වුණා. අද වන විට මේ රෝහලේ ඉදිකිරීම් සාර්ථකව නිම කර ජනතාවට දීමට හැකි වී තිබෙනවා. 2024 අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදලින් කරාපිටිය රෝහල සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වෙන් කර තිබෙනවා. කරාපිටිය රෝහල තාක්ෂණයෙන් සහ ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික රෝහලට පමණයි. අද එකතු වන මාතෘ රෝහල සමඟ කරාපිටිය රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා.”

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලී සබ්රි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, හිටපු කථානායක කරු ජයසූරිය, හෙල්මුට් කෝල් ගාල්ල මාතෘ රෝහල් පදනමේ වැඩ බලන සභාපති ජර්ගන් වර්ත් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT